Monday, March 24, 2014

Pumpkin

Where is she ?
The one with glitter
The one with charm
Had the clock struck midnight 
And She became a pumpkin !
Was i the pumpkin all along .

සිදුවිය යුතු පරිද්දෙන්ම සිදුවෙමින්

සිඳු රළ ද අප ද
පැමිණෙමින් නික්මෙමින්.
මතකයන් මැකීයමින්
සියල්ල ,
සිදුවිය යුතු පරිද්දෙන්ම සිදුවෙමින්.
වෙරළ සියල්ලම දකිමින්
විටින් විට වැළි අතර
මතකයන් සඟවමින්.
එද කිසිවෙකුදු නොදකිමින්
පැමිණෙමින් නික්මෙමින්
සියල්ල නැවතත්,
සිදුවිය යුතු පරිද්දෙන්ම සිදුවෙමින්.

විරහව

කඳුළු ද
ඉකිගැසුම් ද
විටෙක හෙලෙන සුසුම් ද
බලාගත් අත බලා සිටීම ද
මද නිහඬතාවයන් ද
අවසන මන්දස්මිතයන් ද වශයෙන්
ඍතු සහිතය විරහව.
ඉදින් පසු කරනු හැර ක්‍රමිකව 
අන් මගක් නැත.

නිධන්ගත සිහින

දැවී අළු වී ගිය බිමක 
කෙසේ නම් දළුලනු හැකි වෙද
නිධන්ගත සිහින.

සිතා සිටියාට එහෙම අප ,
සිහිනයටම විෂය වන 
අපූර්ව පැවැත්මක් තිබෙන.
ෆීනික්ස් පක්ෂියෙකු මෙන්
අළු තුලින් නැගිට එන.

බහිරව ගායනා

නෑසේද බහිරව ගායනා
නිදානය ගැන නිතරම
මතක් කරමින් ගැයෙන.

මතක විය නොහැකි වෙද ඒ ?
නිදන් කර දමන ලද
නමුත් තවමත් දෝංකාර දෙන !

සෙවනැළි විඩා හරිනා ඉම

එක්තරා තැනක් ඇත
පහන් නිවී ගිය පසු
සෙවනැලි විඩා හරින.
අපද එක් සමයක 
එතැන හිඳ විඩා හල අය.

ගොදුරු

දාම වල පහළ අය 
ඉහළ අයගේ ගොදුරුය.
ඉහළ යැයි හිතාගෙන ඉන්නා අය
ඊටත් ඉහළ අයගේ ගොදුරුය.

අතරමැදියන්

අහසින් බට දේ යලිත් අහසටමය
ගඟ මුහුද අතරමැදියන් පමණය !

කියවන්නාගේ නිදහස

යම් වියමනක් කවියක් ලෙස පරාමිතිගත කොට විඳිම මෙන්ම ඉන් ඔබ්බට ගොස් කවිය සම්බන්ද තමාගේ කියැවීම නිර්මාණකාරී විවේචනයක ස්වරූපයෙන් ප්‍රතිපෝශනය කිරිම ද අනෙකාගේ නාස් කෙලවරට මයික්‍රෝ මීටරයක් මෙහා වන තෙක් ඇති සැරයටිය වැනීමේ අයිතිය මෙන්ම කියවන්නා සතු අයිතියක් බව මම විශ්වාස කරමි. නමුත් කවිය නම් මෙය මැයි මෙය පමණක්මැයි ආදී වශයෙන් වැට කඩුලු තනන්නා වූ මතවාදීමය සියලු සංස්කෘතික පොලිසි වලින් එකහෙලා විතැන් වෙමි.

ඉරිතැලුනු කවි

ඉරිතැලුනු මිනිසුන්
තටු හැලුනු විහඟුන්
බලන් ජීවිත යදින අරුමය 
කලා වැව් පිටිය මත.

උතුම් උඩ මලුව කොන 
සුසුදු වැලි තලය මත 
දිග ඇදුනු සිල්වත්තු
හිස්ය උන්ගේ නෙත්
හිස්ය උන්ගේ සිත් 

ඇරඹි හැමදේම නිම විය
ඉපදුමම වේය මරණය
පිනත් මිල කරන දේශයක
මෙවන් කවි ලියවේය .

කතා

යම් කතා ඇත 
තරමක් පමා වී කියැවෙන.
නිහඬ බව කල් ඉකුත්වන තුරු
මදක් ඉවසා සිටිය යුතු අප !

පසු පිපිරීම්

මුල්ම පිපිරීමෙන් 
පසුව වන පිපිරීම් 
ඒ තරම් දරුණු නැත.

භංගූර සියල්ල
බිඳී විසිරී ගොස්ය 
දැනටම.

නුඹ නැත

නුඹ
එතරම් දුරක නොව
බොහෝ නුදුරක .
කැමති නම් නැවත
යා හැකි තරම වුව .

නමුදු 
එදා මා , නුඹ අද නැත 

ප. ලි.
එදා සිටියෙත් නැත
තාවකාලික ස්වප්නයක
ගිලී සිටියා පමන .

නුඹ එන්න

සඳ නැතත් කමක් නැත .
කදෝ කිමි එලිය අරගෙන 
එන්න හැකි නම් ඔබට .

මහඟු එළියකි නුඹ 
ඝන අඳුරු අහසට .

තටු

තටු දුන්න අය 
තටු ගනිති .
අප පියාසර ක්‍රම වේද අතහැර 
පුරුදු බඩ ගෑම 
නිවැරදිව හදාරන්නේ එබැවිනි

රිසිව පැමිනුණි රිසිව නික්මුණි

ගිවිසුම්ගතව නොව
බැඳුම්කරයකට සන් කලේ නොව
රිසිව පැමිනුණි රිසිව නික්මුණි

නොතිබුනෙන් යම්ක් බිඳෙනු පිනිසට
බිඳී යාම්ක් නොව
තරමක් එලෙස දැනෙනවා පමන

ගස

වැර වෑයමින් සිසිරිය අතරමැද
මල් කිහිපයක් පිබිදවූ ගස 
වසත් කල ගිමන් හරිමින් .
තතු නොදත් විහඟ කෙනෙහිලි වලට 
කට කොනෙන් හිනැහෙමින්

එක්තරා ස්වරයක්

එක්තරා ස්වරයක් 
එක්තරා මතකයක් රැගෙන.
වෙණ තත් සිඳී බෝ කල් ගතව දැනටම .

පිපිරීම සිදුවුනු තැන

පිපිරීම සිදුවුනු තැන 
අන්න එතැනය තැන ලෙස 
සපථ කරගෙන .
සැනසීගෙන.

ඇත්ත නම් ඉන් බෝ කලකට පෙර බවය.
සංඝටිත පථ වලම ඇරැඹි බවය.

Past-tense

ඉතා ආහ්ලාදජනක කවි හැමවිටම අතීත කාලයෙනි.
එකල නිමවුනු පසුව මිස
ඒ සමය ගෙවෙනාතරතුරක කවි ලියනු නැති.
කවි ලියනු හැර 
කරන්නට වෙන වැඩ බෝ ඇති බැවිනි.

ඒවත් වචන

එතරම්ම තියුනු නැති වුනත් 
මැනවින්ම ලියා නැති මුත් 
ඒවත් වචන .
පියාපත් අහිමි කාලවල 
පියාසර පාඩම් කියාදුන් වචන .
නෙක වසත් මල් අස 
සැඟව ගියමුත් 
සිසිරයක එක මලක් පුබුදන්න 
දිරිය දුන් වචන .
අමාවක රැයක 
කදෝකිමි වචන .
පිපාසිත මුවක
ඌල් දිය වචන .
ඒවත් වචන .

The Philosophy of Writing

ඇයි තමන් ලියන්නේ කියන එක දාර්ශනික ප්‍රශ්නයක් ,හැබැයි ඒකට දාර්ශනික උත්තරයක් නොතියෙන්නත් පුලුවන්. සමහරවිට තියෙන්නත් පුලුවන් . නමුත් නොතිබීම ගැටලුවක් නෙමෙයි.

කිඹුල් කඳුලක්

කිඹුලෙක් හෙලූ පමණකින් කඳුලක්
ඒ කිඹුල් කඳුලක් නොවන .
රළු වුවත් පිටතින්
විටෙක කිඹුලන්ට වුව හැඬෙන

අස්ථානගත වීම

නැවත එන වග
ලියා එව් ලියමන 
අතරමග අස්ථානගත විනි.
ඔබ ද යලි නොපැමිනි.

වෙනස් වන්නට තිබුනු බව වත් 
නොදත්තෙමි
ඉදින් තරමක් සතුටිනි.
හෝ සතුටු වග පෙනවන අවදිය ලඟාවිනි.

ශුන්‍යය වූ ප්‍රේමය

විශ්වයම ශුන්‍යව 
ශුන්‍යයම ප්‍රේමය ව .
ඉදින් විශ්වයම ප්‍රේමය ව .

ප්‍රේමය ය පෙම්වතුන්ය දෙයාකාරය

ප්‍රේමය ය 
පෙම්වතුන්ය 
දෙයාකාරය .
ප්‍රේමයට අයිති නොවන දේ ගැන 
ප්‍රේමය වගකියනු නොලබන .
අයිතිවාසිකම් කියන තැන් 
ප්‍රේමයෙන් විතැන් වන !

බහිරව ගිවිසුම

අප බොහෝ කලකට පෙර 
ගිවිසුම් අත්සන් කර 
බහිරවයින් සමග .
නිධන් වූ දේ 
යලි මතු නොවනු පිනිසට.

ඉදින් නිරායාසයෙන් 
සුදුසුකම් නොලබන 
යෝධ ලයිස්තුව වෙත .
යෝධයින් වීරයින් වෙනුවට
අල්පේශාක්‍ය මාර්ගය තොරාගත් බැවින් අප.

විහඟෙක්

විහඟෙක්ය ,
සරුංගලයක් තනන
පෙර එකතරා සමයක 
පියාපත් අහිමි වුන !

රිසි විටෙක යා හැකිය

ගසාගෙන යන අයට 
දඬු කඩක් දුන්නා පමන.
කරමත හොවාගෙන 
ඉවුරට පැමිනියා පමන 
ශීතලට අවුරැසට 
සෙවන දුන්නා පමන.
රිසි විටෙක යා හැකිය.
ගිවිසුම් සහිතව උදව් දුන්නා නොව.
අපද ගසාගෙන යමින් හුන් බව 
මොහොතකට අමතක වූවා මිස

ගීය

ඒ ගීය 
තවත් අප සතු නොවන .
වෙනත් හිමිකරුවන් පැමිණෙන 
එලෙසින්ම සිදු විය යුතුයි එය . 
අපට අහිමි වුන පමණකින් 
මැකී නොයනු පිණිසට .

ජවනිකා

ඉර බුම්මගත් වනම 
වලාකුළු විදුලි හරඹයට සැරසෙන 
දේදුන්න
සාදයක් යයි හිතාගෙන 
අනාරාධිතවම පැමිණ .
දුක ජවනිකාව 
කඩා කප්පල් කරන .

කුසුම

ශිශිර තරණයකය කුසුම
පෙර සිසිරයක මිදුණු හිම 
තවමත් ඇතුලතය .
ඉදින් පිපෙන්නට පමාය

Clean Break

අප කැමති 
සිඳුණු තැන 
වෙන් වෙන්නට සිඳුණු විට .

එක්ව යා නොහැකි තැන 
දෙමගක ,
වෙන් වෙන්ව යාමකට .

නොසිදුවිමකින් පසුව 
කිසිවක්ම සිදු නොවීමට .

ඇට මැස්සා හා සම්මුඛ නොවීම

අප ඒ ක්ෂුද්‍ර කුලකයට අයිති වෙමින් 
ඇට මැස්සා හා සම්මුඛ නොවෙමින් 
සිදුවීම හා නොසිදුවීම අතර අවකාශයක 
දෝලනය ප්‍රතික්ෂේපකරමින් .
නොසිදුවීම පිළිගනිමින් .
ගන්ධබ්බ පැවැත්මෙන් බිඳී යමින් 
හැකි නම් නැවත උප්පතියක් ලබමින් 
නැතිනම් සුවසේ මියැදී වෙසෙමින් .

ක්‍රමලේඛ ගත පෙරහන්

පියවි ඇස වුව 
වර්ණවත් උපැසකින් 
වෙනස් නැත .
බොහෝ ඇත පෙරහන් .
ක්‍රමලේඛ ගත .

කූඹි

කූඹි 
ජෛවිය ක්‍රියාවලියක 
බහු කාර්ය ඒකක .
සැලකිය යුතු තරම් කුඩාවෙන් 
ක්‍රියාවලියත් පෙනෙන .

එදිනෙදා රාමුවෙන් 
පිටටගොස් බැලු විට 
අප උනත් එහෙම .

මැටි

මැටි යයිද
බිඳෙන සුළු යයිද 
බියෙන් සිටි කාලය 
කෙමෙන් අවසන්වුනි .

මේ සැලකිය යුතු තරම් වැරදි වුව 
නිවැරදි කෙරෙන සමයකි .

සේවා දිගුව

බාහිර සාධක වලට අනුකූලව 
ගිවිසුම් ප්‍රකාරව ඉලක්ක සැපිරිණි නම් 
වැඩ නිමා වූ පසුව 
සේවා දිගුවක් ලැබෙන 
සැලසුම යාවත් කාලින කරනු පිනිසට .

දෙහදක් !

හදවත් දෙකක් විය .
පපු කුහර දෙකක .
සම සමව 
ලබ් ඩබ් හඬ නැගෙන .
එක හඬක් නතරවිය .
ඒ මගේ හද .
තවමත් ජිවත් කරයි මා 
ඇගේ හද .

ප්‍රමූල සාධකය

ප්‍රේමය ප්‍රමූල සාධකයකි 
පැවැත්ම කෙරෙහි විෂය වන .
ඇරඹුමද අවසනද හඟවන ..

ජලාල් අල් දින් රූමි

මාගේ දෑස් තුලින් අවට බලනුයේ කවුරුන්ද ?
ආත්මය නම් කුමක් වෙද ?
එකදු බිඳුවක් හෝ පිළිවදනින් 
තොලගානු හැකි වුනි නම් 
මේ බේබදු සිපිරිගෙය බිඳ පලා යනු හැක මට .
බලෙන් ගෙන එනු ලැබුවෙක්මි 
ඉදින් පිටව යනු නොහැකි .
රැගෙන ආ අයම 
නිවෙස වෙත රැගෙන යන තෙක් හිඳිමි .
- ජලාල් අල් දින් රූමි .

දඬුවම

දරුණුතම දඬුවමය ප්‍රේමයේ වරදට 
ඔහු ලද ,
මරණය නොව 
ජීවත්වන්ට ඉඩ හැරුම .

අප

අප 
ප්‍රභාතය අස 
තුෂර බිඳු මෙන් 
තව මොහොතකින් 
බිඳී යමින් 
යලි කොතැන හෝ 
රැස් වෙමින් .

Lost

පැරදී නික්ම යමි .
සැනසිලි තෑගි අවැසි නැති .

බෝ මැඩ

මෙපරිද්දෙන්ම බෝ 
තව පහන් දැල්වෙන වගත් 
දැල්වී නිවී යන වගත් 
දත් බැවින් නිසසලය බෝ මැඩ !

ගමන

ඉතිරි කොට 
මරණෙට පෙට්ටියට 
අදාහනේටත් එක්කම 
තිබුනෝත් ඉතිරියක්
හත්දවසෙ දානෙට ගන්නට .

ලොකු බූදල් නැතත් බෙදා දෙන්නට 
ඉටු කොට හමාරයි 
සියලු යුතුකම් දුවා දරු හැමට .

සීයා ගියෙත් එහෙම.
අප උනත් යන දවසකට
කැමති එහෙම ගමනකට .

අන්න වචනය

අන්න වචනය 
අප ද ප්‍රේම හේමන්ත සමයක භාවිතා කරන ලද 
"අපි නිල වශයෙන් සතුටින් "

නම් ගම් සහ හැඩරුව මනඃකල්පිතයි !

ජාන කලිසම 
අත් නැවූ සුදු කමිසය
අශ්ව වලිග කොණ්ඩය 
වටපිට නොබලාම යන ගමන
හේතු සහිතව කැමතියි . 

එහෙත් ඈ නොදනියි .
හෝ නොදන්නා මෙන් සිටියි .

නම් ගම් සහ හැඩරුව මනඃකල්පිතයි !

මතක වැස්ස

මතක වැස්සක් මැද 
කෙසේ නම් නොතෙමී 
හිඳින්නෙද නුඹ ?
ඇසීය ඈ මගෙන් 
නො අසාම බැරි තැනෙක .

මතක සැඩ පහරට 
අසුව මියැදුනෙකි මම .
එක්තරා සමයක 
එක්තරා දිනයක .
ඉදින් තව තෙමෙනු නැත !

ප්‍රේමයක් නම් එලෙසින්

දළඹුවන් දළඹුවන් ලෙසටම සිටීමට ඉඩ දෙමින් , 
බලෙන් සමනලුන් නොඅයදිමින් , දළඹු වෙස අගයමින් . 
ප්‍රේමයක් නම් එලෙසින් .

අප සතුටින් සහ දුකින්

අප අපිළිවෙලෙන් අපිළිවෙලට හැරෙමින් 
විශ්වීය නියමයන්ට අනුගත වෙමින් .

ප්‍රේමය සන්තාපයටත් 
සන්තාපය මතකයටත්
මතකය මතක කැබිලිති වලටත් 
බිඳී යමින් .
මා ඔබෙන් මිදෙමින් .
ඔබ මගෙන් මිදෙමින් .

අප සතුටින් සහ දුකින් .
පැවැත්මට ඉඩ දෙමින් .
පවතින් සහ නොපවතිමින් .