Friday, June 8, 2012

අහඹු සිතිවිලි

අපි ඉතින් ස්වභාවය තුළ ඉතා වැදගත් අය නොවෙයි . ඉතින් අපි ඉන්නේ අවශේෂ කුඩා අනුකුඩා දේවල් භාරව , ඔය හේතුවක් ඇතුවත් නොවන නැතුවත් නොවන හිනාවක් වගේ දේවල් , පැහැදිලි ආරම්භයක් අවසානයක් නැති කතාන්තර වගේ දේවල් ඒ ගොඩට අයිතියි . ලැබෙන වරප්‍රසාදත් අඩුයි . වැඩත් අඩුයි . එක වැඩක් ඉවරකරාම ලැබෙන ක්‍රෙඩිට් ටික විභාගයක් ගොඩ දාන්න වගේ ලොකු වැඩකට ප්‍රමාණවත් මදි , . ඒවාට වෙනම මහන්සි වෙන්න වෙනවා . නමුත් කියන්න තරම් වැරද්දක් නෑ . සිදුවීම හා නොසිදුවීම් අතර ජීවිතය ගෙවෙනවා .

කවුළුව



වෛරය , මහ දරුණු වචනයක් එය
නැහැ එවැන්නක් මා තුළ
කවුළුව" ගැන

කාරණය මෙහෙම .
කවුළුව" හැම විට කරදරම රැගෙන එන
පෙනෙන නොපෙනෙන ක්ෂිතිජයක
දසුන් නිතරම ඉඟි කරන .

මා ද්වාරයන් ප්‍රිය කරන .
ලබාදෙන නිදහස .
රිසි අයුරු
යනු , රැඳෙනු හෝ එනු පිණිස .

නමුදු
හුදු දසුන පමණක් නොසෑහෙන
කවුළුවෙන් පෙන්වන !

මා දැන් යන්ට යමි .

මා දැන් යන්ට යමි .
අම්බලම වැඩ නිමි .
දිය බඳුන පිරී ඇති .
අවට එලි පෙහෙළි වී ඇති .

සමුගැන්මට කෙනෙක් නැති .
කැටුව නොපැමිණීමි .
රැගෙන නොයන්නෙමි .

නැවත තැනකදි නවතිමි .
යළිදු මේ කව එහි ලියන්නෙමි .

අහඹු සිතිවිලි ..


ජිවිතේ වගේම මරණයෙත් සෞන්දර්යයක් ඇති . මම කොහොමද දන්නේ කියල අහන්න එපා . නමුත් මට හිතෙනවා එහෙම විය යුතුයි කියලා . ඕනෑම දෙයක සමමිතියක් තියෙනවා . ජිවිතයේ සමමිතිය තියෙන්නේ මරණය හින්දයි . ඉතින් ජීවිතය සුන්දර නම් මරණය අසුන්දර වෙන්නේ කොහොමද . නමුත් ජිවත් වෙලා ඉන්න අපට මේක තේරෙන්නේ නැහැ . අපි ඉන්නේ එක මොහොතකට කොටුවෙලා . ඒ මොහොතෙන් මිදෙන්න අපි කැමති නැහැ . නමුත් රාමුවවට පිට ඉඳලා බලන කෙනෙකුට මේක පෙනිය යුතුමයි . මම හොයන්නේ මේ රාමුවෙන් පිට පනින විදිහක් .

මම ඉතා පැහැදිළිව ,

මම ඉතා පැහැදිළිව ,
මේ කියන්නේ කටු ගැන කතාවක් නොව 
ඉඳහිටෙක මල් පිපෙන බව 
පිපිය යුතු බව 
කටු තිබෙන එක 
වැරද්දක් නොවන බව !

අපේ කවි !

කවි දෙවගයක් ඇති .
කඳුළු කවි සහ සතුටු කවි .
අප ලියන්නේ අහඹු කවි .
කඳුලකට වැඩි ඉඩ නැති .
අතීතය මියැදිලා ඇති .
සිනහවද එහෙමකට උරුම නැති .
හෙට තවම උදාවී නැති .
විටෙක මදහසක් නැගෙනු ඇති .
අද ගෙවා ගැනුමට එය ඇති .

සැඟවීමක් ගැන

කල්යල් බලා පතිත වුණු වැසි බිඳ 
සඟවා ගත් වග
වැගිරෙන්ට නියමිත කඳුළු කැට !

අප ඉතා නොවටිනා සන්නාහ සහිත අය.

අප 
ඉතා නොවටිනා 
සන්නාහ සහිත අය.
සියුම් සැත් පහරවල් වුව 
දරාගත නොහෙන .
ඉදින් 
කඩු මුගුරු රැගෙන එන විට 
සටනට 
පලායනු හැර 
කරන්නට දෙයක් නැත වෙන !

සැලසුමක් ගැන කවක්

සෑම උපතක් සඳහාම 
සකස් වී ඇත සැලසුම් මුල සිටම .
සමහරු ඵල දරන්න ලෙසට !
සමහරු සෙවන දෙන්නන් ලෙසට !

මෙතන තමයි තැන .

මෙතන තමයි තැන .
ඔව් 
මතකය වළ දැමූ තැන !

බහු මානිත උමතුව

උමතුව 
මෙතෙකින් අවසන් නොවනු ඇත .
උමතුවේ මාන ඇත 
එකිනෙකින් එකිනෙකට !

මෙසේය බිම්මලක උදානය.

වෙනසක් ය කියන්නේ 
හතරැස් වූ ලෝකයක 
රවුම් ව ඉපදීම නොව 
සෙවනක් නැති තැනක 
කුහුඹුවෙකුට හෝ සෙවනක් වීමය !

The order of things

කුසුම්හු වැළපෙත් නිතරම 
කියමින් රොන් සොරාගන්නා වග බිඟු කැල ..

රොන් බිඟුන් සඳහාමය මිත 
රැඳෙයි ඒ මත 
පුෂ්ප වර්ගයාගේ පැවැත්ම.

සොබාදහමේ සැලැස්ම 
අසාධාරණම නොවෙත .
නොපෙනුනත් එක්වරම !

ගිවිසුම

ගිවිසුම්ගතව තිබුනේ මෙහෙම ,
නුඹ නොඑන කල
වසන්තය නො එන වග .
නො ආ මුත් නුඹ
වසන්තය පැමිණ ඇත !

A translation of the poem , "Manipulation" by Malinda Seneviratne

එයයි ගස සතු වගකීම .
අතු පත් විහිදීම .
මද නළ මෙන්ම මේකුළු විසිරුවීම .

එලෙසකින් සඳ එලිය 
හැරේ කැටයම් බවට 
හුදු පරිකපනය ඉක්මවන .

එතෙකිනුදු නොනැවත
හැරී කවි බවට 
ඇදහැලේ සඳ එලිය
බොලඳවූ සිත් මතට
හැඳිනගත් සිත් මතට වුව
රැවටීමක් නොවේ එය
රවටෙනු ඉඩ දීමකි නුඹ සමගම

ඉතා බල සම්පන්න අය

එහෙම අය ඇත 
ඉතා බල සම්පන්න අය .
මිය ගිය කවියකට වුව 
පණ දෙන්ට හැකි අය !

බහිරව ප්‍රේමය

නිධන් කල ප්‍රේමයන් සියල්ල 
බහිරවයන්ට හිමිවෙත .
එහෙමයි බහිරව ගිවිසුම !!

නිමාවක් ගැන කවක්

යළි අප හමුනොවෙනු ඇත .
ඉදින් 
ඉතිරි හරියෙන් පලක් නැත !!

එදා සහ මෙදා

එදා සඳ යළි කිසි දිනෙක හෝ නැගී එන්නට ඉඩක් නම් නැති 
එදා තරු වුව එලෙසකින් යළි නොමදිලෙන්නට පිළින දී ඇති 
උයන් තෙර දිසි කිසිදු කුසුමක් ඒ වනින් යළි පිපෙන්නේ නැති 
මෙදා අප මිස එදා අප යළි කවමදා හෝ මුණගැසෙනු නැති .

මන උච්ඡ

මන උච්ඡ
දකිමින් 
වටහාගනිමින් 

මනුස්ස 
ඇස ගැටෙමින් 
තරමක් වික්ෂිප්තව බලමින් 

මිනිස් 
යන්තමින් ඇස හැර බලමින් 
ඇඟමැලි කඩමින්

මිනිහෝ
නැගිටපන් !

ආකෘතිය සමර විජේසිංහයන්ගේ කවකින් උපුටාගතිමි .

සිනහ කවි

සිනහ කවි ,
කියවලා අවසන 
යළි මතක කල විටෙක 
මදහසක් නැගෙන කවි .

ඔය ලියන්නේ කඳුළු කවි .
සිනහවෙන් පිට කවර දැමූ කවි

අමතකව ගිය ප්‍රේමය .

නිධානයක් හමුව 
බහිරවයෙකුත් සමග !

නොසිදුවිමක් ගැන

එල්ලය බලා විසිකළ 
මදහස් කිහිපයක් 
පතිතවිය බිම
සීරුම් තුවාල සහිතව .

සැලසුම් සහගත 
අහඹු හමුවීම් 
ඵල දරා නැත 
ඒ කියන්නේ 
ඔබ නො ආ වග .

හසුන් පත්
ලියා නැති මුත් කිසිදිනෙක
වැර වෑයමින් කොටාගත්
කෙටි පණිවිඩය
ආගිය අතක් නැත .

ඉදිරිය පහසු නැත
එසේ වුව
කතාව මෙතෙකින්
නිමාවන්නේ නැත .
තොරතුරු ලැබෙන හැටියට
ලියා දන්වනු ඇත .

තමන් නොවන චරිත කියල ජාතියක් තියෙනවද ?

පළමුකොටම මේක අදහසක් විතරයි . මගේ අදහසක්මත් නෙමෙයි ඩග්ලස් හොෆ්ස්ටාඩර් කියන පර්යේක්ෂ්කයගේ අදහසක් . මෙහෙමයි මා ගාව තියෙන වැදගත්ම සහ කේන්ද්‍රීයම චරිතය මම , ඊට අමතරව වෙනත් පොඩි පොඩි චරිත ගානක් තියෙනවා .එක එකට තියෙන වැදගත්කම සහ ඒ චරිත ගැන තියෙන සැලකිල්ල මත ඒ ඒ චරිත කොච්චර සජිවිද කියන එක තීරණය වෙනවා . හොෆ්ස්ටාඩර් ට අනුව මම මා තුල හා මගෙන් පිට පවතින අතර අනෙකා මගෙන් පිට වගේම මා තුලත් පවතිනවා .

නික්මයාම

හිස දෙන්ට අදහසක් නැත 
හිසනමා පිටව යමි මෙවර !

එක්තරා කාලයක එක්තරා ගමනක් ගැන

එකල ගමනක් විය .
ආසන්න වූ පථ වල .
අතිනත රැගෙන යා හැකි වුන 
පසුකලක වැටහුණි 
එක්තරා ප්‍රේමයක් බව එය .

අප

අප ,
වෙනසක් ගැන නොසිතාම 
අළු දෙමලිච්චන් අතර 
අළු පැහැතිවම .

ඉමිටේෂන්

රන් වල භාවිතය දිලිසීම 
ඉමිටේෂන් කියන්නේ 
දිලිසීම ලබාදෙන දෙය.

රන් දිගු කලක් දිලිසෙනු ඇත 
නිසැකවම .
නමුත් දිළිසිම නම් එකම .

උමතුව

අප එක්ව උමතුවීමට කැමතිව ,
ගිවිසුම් ගත කලයුතුයි මුලින්ම 
තනිව උමතුවෙන් නොමිදෙන වගට !!

දැක්ම

දෙආකාරය 
දැක්ම .
අන්වික්ෂීය හා මහේක්ශීය ලෙස .
සියලු දෙන සමව 
හා 
එකිනකාගෙන් වෙනස්ව 
එකම විට !

ඒවා ඒ ආකාර

ඒවා ඒ ආකාර
වියලි කොළ පතිත වීම .
ගී නොගයාම මියැදීම 
මෙන්ම ප්‍රේමයන් වියැකීම !

Hibernation

හේමන්ත නිද්‍රාවකි
මියැදීමක්ම නොවන .
සෑම ශිෂිරයක් අවසන ම 
හිම බිඳක් ඉතිරි වෙන .

නිර් යුක්ලිඩීය ප්‍රේමය !


ඔබ මා අතරතින් 
ඔබ අතින් ඇඳුනු රේඛාව 
අප වෙන් කළ යුතුව ඇත.
සියල්ලම සිදුවිය යුතු පරිදි සිදු නොවන .
ප්‍රේමයෙන් ආශක්ත ප්‍රදේශ 
යුක්ලිඩීය ප්‍රත්‍යක්ෂ නොසලකන .

ඒ කෙසේ වුව ,
තව කලක් ගත කරනු නොහැක මෙලෙසට .
වෙනත් ජ්‍යාමිතියකට යාමට කාලය එළඹ ඇත .

නෙලුම් විල නුඹ !

නෙලුම් විල නුඹ 
ගිය අඩි ලකුණු මිස 
ආ අඩි ලකුණු නැති .

බියක් නැත එහෙමට .
රකුසන් ප්‍රිය මිතුරන්ය අප .

එසේ වුව 
අන්සතු දේ අවැසි නැත .
රකුස් තෙම උඹට ජය !