Friday, November 25, 2011

ඒ යථ සහ මේ යථ .

ගෙතූ කතා කියා ජාතියක් නැත .
හැම කතාවකම ජීවිත ඇත .
උන් අපි කියා වෙනසක් නැත .
ඒ යථ මේ යථින් 
වෙන් කරන ඉරක් නැත .
මායාව තුල හිඳ
මායාව දකිනු නොම හැක .

ප. ලි . විශ්වාස නැති නම් සොෆී ගෙන් හරියටම අසා දැනගන්ට හැක .
[ Sophie's World- Jostein Gaarder ]

A fairy tale

ගෙම්බා කරකවමින් ඇස් දෙක 
හිතනවා මෙහෙම .

හපොයි !
මෙයත් ඉඹියිද මාව .
කුමාරයක් වෙලා ඉඳල ඇතිවෙලා මට .
ගෙම්බියක් හොයාගෙන
පවුලක් පන්සලක් වෙන්න
කාලය පැමිණිලා ඇත .

උමතුව !

අවැසි දේ කියා ගන්නට නොහැකිව ඇත .
තේරවිලි කියන්නට සිදුව ඇත .
තවම තේරුම් ගෙන නැත .
ඉන්නවා වන්ට හැක
නොතේරුණු විදිහට .
ඉතා පහසුය නොතේරෙන එක .
ප්‍රශ්න කරදර අඩුවට .

මල් මල් වගේ නැත .
නටු අග නොව
පෙති යටත් කටු ඇත .
අහස නිල් නැත .
කළු වලාකුළු ඇත .
රිදී වන් විදුලි ඇත .
නොහිතන වෙලාවක
හිස මතට වදිනු ඇත .

ප්ලේටෝ දන්නා බම්බුවක් නැත .
එහෙම ධාර්මික උන් නැත .
හුළු අත්ත ගෙන ඩයොජිනියස්
සත්‍යවාදී මිනිසා සොයා යත .
අදටත් හම්බුණ වගක් දැනගන්ට නැත .

මේවා කියා වැඩක් නැත .
අමතක කරන්නට තීරණය කර ඇත .
යළි උමතුවූ දිනක ලියනු ඇත .

ඒක එහෙමය .

වසර ගණනකට පසුවත් 
ඇස් දෙක තාම මතකය .
මතක කීවාට අමතකය .
වැර වෑයමින් අමතක කල විට එහෙමය !

a porcupine.

ඉත්තෑවන්ව වුව 
සිපගන්න බැරිම නැත .
හොම්බ හරියේ කටු නැත .

මුල්ම කාලෙදි 
අනිත් හරියෙත් නැත .
ප්‍රේමයන් කිහිපයකට පසුව
ටිකෙන් ටික හැදෙනවා මිස !

An intoxication .

මිතුර ,
නිදි ගත් වන සිටින වුන් 
ඇහැරවිය නොහැකිය .

විකාර රූපී ස්වප්න
අනේක විධ මායා බන්ධන
දෙනෙත් දෙසවන් වෙලාගෙන ඇත .

යථ කටුක රස ඇත .
මායාව එහෙම නැත .
පැණි රස කැමති නම් එහෙම
කිරට නම් කිරට
නැති නම් මිරිසට
විවිධ රස ඇත .

බෝගන්විලා .

වැඩි සුවඳක් නැත .
කාටවත් බයත් නැත .
වතුර දැම්මත් නැතත් 
මැරෙන්නෙත් නැත .

කිසිවෙකුට අත නොපා
හැකි නම් රැකෙන්නට
නැතිනම් මියෙන්නට
තීරණය කොට ඇත !

Clueless .

අපි ඇතත් අපි නැතත් 
වැස්ස හයියෙන් වහින 
මිහිකතම මුළුමනින් 
සඳ දියෙන් තෙමෙන .
මිහිදුමේ සළු පටින් 
සඳ කොපුල් දිලෙන .

හිම උනත් වැටෙන .
මල් හෙමත් පිපෙන .
හරියටම වැටහෙන්න
ටික කලක් ගත වෙන .

World Views .

කවුළුවලින් බලන්නට හොඳ නැත .
ලෝකය පෙනෙන්නේ එවිට 
කුඩාවට .
හුරුබුහුටිවට .
ඇසට සරිලන විදිහට .
අතට අහුවෙන තරමට .

ලෝකය එහෙම නැත .
මහා විසාලෙට ඇත .
අපිව සත පහකට
ගණන් ගන්නේ නැත !

Friday, November 18, 2011

විඳීම .

සාහිත්‍ය රසවින්දනයේ විවිධ මානයන් ඇත . සියල්ල එකම රාමුවක් හිඳ විඳින්නට නොහැක . පාවුලෝ ගේ ඇල්කෙමිස්ට් විඳි තැන හිඳ හේස් ගේ සිද්ධාර්ථ කියවීම කල නොහැක . ටෝල්කින් විඳින්නට නම් ඒ දෙදෙනාගෙන්ම පිටත මානයකට යා යුතුය . සයිමා සිටින්නේ වෙනත් ඉසව්වකය . ඒ දෙසට යන අතරමග ජයසේන ජයකොඩි සහ අරලිය මල් ආරාමය දකින්නට නොලැබෙනු ඇත . සුජීව ප්‍රසන්න ආරච්චි හෝ සනස්ගල වුව විඳින්ට හැක . හැබැයි තික්ත කසාය හා ලොසින්ජර එකට බුදින්නේ නැත . මායාව ද ප්‍රිය ජනකය . රෝව්ලින්ස් වියන මායා ජාලය ලූකාස් වියු එක මෙන් නොවනු ඇත . වෙනසකම් ඇත . වෙනස් රස ඇත . ගාර්ෂියා මර්ක්විස් ද ඔබට හමුවනු ඇත . සියක් අවුරුදු තනිකම මෙන්ම කොලරා කාලයේ බැඳි ආලය තව තවත් මාන එක කරනු ඇත . නීට්ශේ ගේ සරතුස්ත්රාවට ද ඛලීල් ගිබ්රාන්ගේ මුනිවරායටද සම තැන නොලැබෙනු ඇත . ඔවුන් නිසි තැන වල හිඳ වැජඹෙනු ඇත . කෆ්කා වුව මුහුදු වෙරළේ ඉන්ට බැරි කමක් නැති අතර අම්බෙර්ටෝ එකෝ ගේ නේම් ඔෆ් රෝස් වෙනම මානයක් වෙනම කෝණයක් අයත් කරගනු ඇත . ගෝරා කියා පොතක් ඇත . තාගෝර් විඳීම ඇරඹෙනු ඇත . මෙයාකාරයේ විඳීම බොහොමයක් ඇත . එකක් දෙකක් කියා නවත්වන්ට සැලසුම් කල තිබුනද විඳීම අපි කියන දේ අහන්නේ නැත . විඳීම මෙතෙකින් නතරවෙන්නේ ද නැත . නිම් වලු පුළුල් වනු මිස යලි හැකිළෙන්නේ නැත . නැවතත් කිය යුතුය . එක එක මාන ඇත . එකක් අනෙකට වඩා උසස් හෝ පහත් නැත .  
අවවාදයයි  .
විඳීම අරඹන්න හැක .
ඇරඹුණු පසු ලොවෙත් නවත්වන්ට නම් බැරිය !

Sunday, November 13, 2011

රාහු

කිසිවෙක් කියන්නේ නැත , 
රාහුගේ කතාව .
අතහැර ගියාට සඳවතිය
ගියේ කැමැත්තෙන්ද යන වග.

මහ එපා කරපු රස්සාවක් ඕක .
කැමති වෙලාවට ගිල ගන්න ,
වෙලාව ආවිට ඉවත්ව යන එක !