Friday, March 30, 2012

ඒවා එහෙම

රකුසන්ට හැමවිටම 
හිඳින්නට නොහැක දිය යට 
නෙලුම් විල වුව .
සිහිල් දිය වුව .
අවැසි විට 
කෙටි පණිවිඩයක් එවනු මැන.
දිය යටදි හමුවන්ට
එවිට හැක !

ගමන

මේ කුඩා පිහාටුව 
ඉගිල නොමගොස් 
මෙහිම නවතින්ට 
තීරණය කොට ඇත .

සියක් මන්දාකිණි පසු කලද 
ගමන කෙළෙවර නැත .
රැගෙන ආවෙක් නැත .
රැගෙන යන්නෙක් නැත .

අවසන
ගමනක් මිස
පිහාටුවක් නැත .

Action at a Distance

දුරක දී සිදුවන ක්‍රියාව 
දැන් භාවිතයේ නැත 
දැන් තියෙන්නේ ක්ෂේත්‍ර .

ඒ කියන්නේ 
කලක සිට ඉඳ ඇත .
ලඟකදී දැනුනාට !

මූලික සැලැස්ම

කොතරම් දෙයක්ද 
දැනගන්ට බැරි එක 
ඊළඟ තත්පරය 
කුමක් ගෙනේවිද යන වග .

කටු මත මල් පිපෙත .
කතරට වැසි ලැබෙත . 
දිනක සිසිරය නිමාවෙත .
වසන්තය පැමිණෙන්ට නියමිත .
හැමදාම අඳුරු නැත .
ප්‍රභාතය ඉදිරියෙන් ඇත .
කඳුලින් තෙමුණු වත
සිනහවක් නලියත .

සියල්ලම මෙලෙසට
සිදුවිය යුතුයි නියමයක් නැත .
නමුදු සිදුවන්ට බැරි නැත .

ඒකයි මූලික සැලැස්ම
අවිනිශ්චිතතාවය හා බලාපොරොත්තුව !

Poetic Chaos - Rose Black

අපේ නිහඬ බව 
දැන් එකිනෙකාට 
කතා කරන්නට පවා පටන්ගෙන ඇත !

- Rose black ( Poetic Chaos )

Poetic Chaos I

හඬ නැති විලාපය ..
සත්‍යය 
මුසාව
කුමක් පළඳිම් ද ?
කුමක සැඟවෙම් ද ?

- Poetic Chaos

වීණාව

වීණාව කිසි දින 
තම ගීය නොවයත .
ඇඟිලි තුඩකට හසුව 
අන් ගීම වයමින !

දෙවියන් !

මවමින් - වෙන්වෙමින් 

සියල්ලම දකිමින් 
සියල්ලම අසමින් 
එනමුදු වෙන්ව වෙසෙමින් .

කිසිවකින් නොසැලෙමින් 
සලිත ලොව තුළ සරමින් .

දෙවි වුව මියෙමින්
එසැනින් යළි උපදිමින් ..

model dependent reality !

එකක් අනෙකින් වෙනස් මුත් 
වැරදි නැත .
සත්‍යය සර්ව සාධාරණව .
නමුදු එක් එක් දැක්මට අනන්‍යව.

කතාවේ ඒ කොටස නිමව ඇත .

වැව් දිය සිඳී ගොස් 
ඉරි තැලුණු වැව් පතුල මත 
කෙකටියා මලක් පිපී ඇත .
ඒනමුදු ,
මල කිසිවකු නෙලෙනු නැත .
කතාවේ ඒ කොටස නිමව ඇත .

Light Years

Stars do talk 
to one another .
Yet , it take light years
to hear .
So the night is silent 

Thus far ..

Post Script

You see ,
Night would be always silent ..

Since We are getting
further and further
from each other
with each passing second .

පිදුරුගසට කී කව

එපා වෙන්නැද්ද 
පිදුරුගස නුඹට ,

ගසාගෙන යන උන් එල්ලෙත 
උර බදාගෙන හඬත
හිසද අතගා සනසත 

දුටු විගස ඔරුවක් 
හැර පියා යන්නට යත .

just a mumbling!

කල හොඳ නොවැරදී ම 
පසු පසින් එලවන .
මඝ මානවකය නුඹ 
නමුදු මං තනන්නේ කොහොම ?
රන් පිළිම එකින් එක 
කළල මැද ගිලී ඇත .
ගල් පිළිම බොල් පිළිම 
අවි අමෝරා රඟන. 
කටු අගත් මල් පිපෙන
සමය නිම වෙලා ඇත .
මල් අගත් රුහිරු බිඳු
තැවරිලා තිබෙණු හැක .
අඳ බිහිරි දනන් මැද
නෙත් සවන් පලක් නැත .
දුකක් මිස අන් යමක්
අන්තිමේ ඉතුරු නැත .

නිමි - නොනිමි

මිය ගිය මුල් අගින් 
අලුත් පැල යළි බිහි වෙන .
කතාවක් නිමවෙත .
කතාවක් ඇරඹෙත .

ගිනි කූර !

නිද්‍රෝපගත පැවැත්ම .
පැවතියද නොපැවති ලෙසට .
මන්දාලෝකයක් වුව 
විහිදුවා අවසන ,
දැවී නැසුණ ද කම් නැත .

යමක් ගැන කවක්

විසල් දිය කඳක් මත 
ඇඟිලි තුඩකින් ඇඳුනු .
ඇසිපියක් ලූ සැණින් 
මතකයෙන් මිය ඇදුනු 
යමක් ඇත පසු කලෙක 
සොයා යන්නට සිතුනු !

මිහිදුම "

මිහිදුම "
මහ පොලොව සිපගෙන නැගෙන .
හිමිදිරි පාන්දර 
තුත්තිරි ගාල් වල දුව පනින .
හිමිහිට ඇහැ අරින මල් වලට 
හාද්දක් තිලිණ කරන .
ඉර නැගෙන විට හෙමිහිට 
වැඩමුරය නිමාකොට 
කෙමෙන් අහසට නගින ..

ඇතුගල

ඇතුගල වුව 
බොහෝ කලකට පෙර 
පෙම් කරන්නට ඇති වග 
පෙනෙන්නට ඇත .
ගල් වුවද හදවත අද 
සෙවෙන දී රැකගනු පිණිස 
පෙම්වත් දන 
පසුබට නොවෙයි අදටද 
ඇතුගල් තෙම ...!

සිද්ධි ක්ෂිතිජය .

අපූර්වත්වයක් අවට හැසිරෙමින් 
සමහරෙක් උපදිමින් .
සමහරෙක් මියෙමින් .
නොගැටී පවත්නට යත්න දරමින් .
නමුදු ගැටෙමින් වෙළෙමින් .
විටෙක පුපුරා යමින් 
විටෙක නිහඬව වෙසෙමින් .
අපූර්වත්වය හා බැඳෙමින් 
නමුදු ,
තනිව පැවැත්මට වෙහෙසෙමින් .
දිනක පැවැත්ම නිම වෙමින්
අපූර්වත්වයට බිලි වෙමින් .

Poetic Chaos

තෙළි තුඩින් අහඹු ලෙස 
කැන්වසය මත ඇඳෙන 

ජීවිතය .
නිමි නොවූ සැලසුමකි 
නමුදු සිදුවෙමින් යන .

- Poetic Chaos

අළු

අපේ පාට 
අළුපාට .
උපතින්ම සුදු නැති .
කළු වෙන්ට අදහසක් නැති .

දෙවියන් ක්ලාන්තව !

ශුන්‍යතාවයෙන් අවර්ණව ,
නිර්ගුන් බ්‍රහ්මන් මෙන් සියල් පැහැයෙන් දිලෙමින ,
දෙවියන් ක්ලාන්තව !

කරගැට"

කරගැට" කියා යමක් ඇත .
කලක් ගත වූ විට
එහෙමට දැනෙන්නේ නැත .

උදානය

වෙළඳාම අතහැර ය .
ණය පොලී රැස් කරනු නැත . 
ඔලගුවේ ඉතිරිය 
තැන තැන නිධන් කොට .
අවැසි නම් මුල් අදිනු ඇත .
නැති නම් සැඟව යනු මැන .
යළි මෙමග නොඑනු ඇත .
ගමන නොනිමිය තවම 
ඔලගුව බිම තබන දින මිස ..

The worm

The worm
ecstatic for a moment
reaching unfathomable heights 
in the caresses of a bird's beak
Dies.

ගිවිසුම් ගත හීන

හීන 
වෙන වෙනම දැක ඇත .
දකිනු ඇත .
ගිවිසුම් සහගතව එක් වෙත .
වෙන වෙනම දුටු සිහින 
එක් ස්වප්නයක් වනු පිණිස .
ගිවිසුම කල් පිරුණු කල 
නැවත තනි සිහින
දකිනු තහනමක් නැත

දිවි වග" හෙවත් ජීවන අන්දරය

දිවි වග" ගෙවෙයි මෙසේ 
එකක් නිමවෙමින් 
තවෙකක් ඇරඹෙමින් .
මේඅතර තුර වුව ...
හිරු තවම නැගෙයි !
සඳ තවම දිළෙයි !

කාරුණිකව දැනුම් දෙන වග නම්

එම්බා සඳ වත 
නවත්වාපන් ඔය 
සමච්චල් හිනහව 
තවත් නම් නුඹ 
කෝමටත් අවැසි නැත අපට .

මිතුරු කරගත් කදෝකිමියන් 
රැසක් දැන් අප සතුව ඇත .

අලුත් කවි

අන් හැම නිදන සඳ 
පුන්සඳ මෙන්ම පිනිබිඳ 
අලුත් කවි ලියන වග 
කව්දෝ කියනවා 
මා අසා සිට ඇත !

හවස

වෙලාවට වැඩ නිමව
දිනකර ගෙදර යත .
රාත්‍රී මුරය හිමි 
තරිඳු තව පැමිණ නැත !

Haiku - Santoka Taneda

කළ යුතු සියල්ල 
සිදු කර අහවරය .
ඉදිරියට පිය නගමි මම .. 

there is nothing else I can do;
I walk on and on

- Santoka Taneda (1882-1940)

Haiku - Otomo Oemura

කදෝකිමි තෙම 
නොසඟවා පිරිනමයි තම එලිය 
හඹා එන්නවුන් හට වුව !

to a pursuer
the firefly gives a look
at its light

- Otomo Oemura

අවකාශය කාලය හා නුඹ

අවකාශය කාලයට පරස්පරව !
හැකි කල දුරින් සිට 
නොකල්හි ලං වන

ශාරදය

බිම හැලුණු සරත් පත් 
නිහඬවම දිරා යත .

වසන්තය අවසන්ව 
බොහෝ කල් ගත ඇත .
බිම හැලුණු මා ද 
දිරා යා යුතුව ඇත .

ප්‍රේම කතාවක් .

පාන්දර හතරකුත් කණිසමට 
හූ කියාගෙන කොළඹ යන දුම්රියට 
මිහිදුම හමුවන වෙලාවක් ඇත .
හැම පාන්දරම 
ඉර ඇහැරෙන්ටත් පළමුව 
මේ හමුව සිදුවන වග 
තතු දන්නෝ පවසත .
පණ කඩා ගෙන දුවන අතර තුර වුව 
මිහිදුම දෙන හාදුව 
පිලිගන්නවා දුම්රිය 
වේගය මදක් අඩු කොට .
නමුත් විසිල් හඬ නැගෙන කොට
දුමිරිය දන්නවා නැවත
ඇරඹිය යුතු බව ගමන .

මුහුණු

දිගු කලක් දුටු මුහුණ මිස 
බලෙන් පෙන්වන මුහුණු 
මතකයේ නොරැඳෙත !

අහඹු සිතිවිලි ..

ජිවිතේ වගේම මරණයෙත් සෞන්දර්යයක් ඇති . මම කොහොමද දන්නේ කියල අහන්න එපා . නමුත් මට හිතෙනවා එහෙම විය යුතුයි කියලා . ඕනෑම දෙයක සමමිතියක් තියෙනවා . ජිවිතයේ සමමිතිය තියෙන්නේ මරණය හින්දයි . ඉතින් ජීවිතය සුන්දර නම් මරණය අසුන්දර වෙන්නේ කොහොමද . නමුත් ජිවත් වෙලා ඉන්න අපට මේක තේරෙන්නේ නැහැ . අපි ඉන්නේ එක මොහොතකට කොටුවෙලා . ඒ මොහොතෙන් මිදෙන්න අපි කැමති නැහැ . නමුත් රාමුවවට පිට ඉඳලා බලන කෙනෙකුට මේක පෙනිය යුතුමයි . මම හොයන්නේ මේ රාමුවෙන් පිට පනින විදිහක් .
පසු සටහන  
ජීවිතයේ සුන්දරත්වය නොවිඳි කෙනෙකුට මරණයේ සුන්දරත්වය දැනෙන්න කොහොමට වත් විදිහක් නෑ .මරණය ඉතාම සුන්දර වෙන්නේ ඒක අවසානයක් වුනොත් විතරයි . එතනින් සියල්ල නිමා විය යුතුයි . ඒක සිදුවෙන්නේ අපි ජීවිතයේ සුන්දරත්වයේ උත්කෘෂ්ඨය වන නිර්වාණාවබෝධ කලොත් විතරයි කියලයි මට හිතෙන්නේ . නැත්නම් මේක චක්‍රයක් වගේ දිගින් දිගටම කැරකෙනවා විතරයි .

Haiku - Takarai Kikaku

1.
දිය බිඳුවක 
මුළු ජිවිතයම 
රැඳී ඇත 
එක් හබරල පතක් මත !

2.
පළල් රඹ පතක් මත 
ඇලී ගෙන ඔරු පදියි 
මැඩි තෙම !


3.
දේදුන්න 
සයුර ඉහතින් දිලෙන 
අන්න !
කොහේදෝ යන වැහිලිහිණි රෑනක් 
මකා දමනවා ඒක. 

4.
මේ මගේ හිම ,
හිතු විගසකින් එලෙසට 
සැහැල්ලුව දැනෙන හැටි 
හිම පිරුණු ලොම් කබාය !

- Takarai Kikaku (1661-1707)

හසුන

අහෝ ..
තැලී පොඩි වෙන 
කැපී සැඟවෙන 
අකුරු !

වර්තමාන කථාව

වෘන්දා වනය එළිකොට 
තැනුණු කොන්ක්‍රීට් දෙවොලක 
තිරය පිටුපස හිඳ
ලද පළතුරු වට්ටි වල 
දාහේ කොල ටික ගනින අතර තුර 
කෘෂ්ණ බර කල්පනාවක .
කෝ එදා සිට රාධා !
කෝ එදා සිටි ක්‍රිෂ්ණා 

මතක !

මතක !

සෙමෙන් මැකී යන්නට 
ඉඩ දෙනු යෙහෙකි .

කළඹන ඇසිල්ලෙහි 
පතුළත සැඟවෙනු මිස 
කෙළවරක් නම් නොවේ ඒ .

පහන්

පහන් වන අපට 
නිවෙන්නට සිදුවීම ස්වභාවික .
ඊට පෙර ,
තවත් පහනක් හෝ කිහිපයක් 
දල්වා තබනු පිණිසය මේ තැත .

Life !

Life !

Indeed 
the balance is precious
yet not just a balance 
an equilibrium of sort 
when lost
it strives 
to redefine the values
and regain the balance 
and it can
and it will
if and only if
we too are prepared to try !

පියාසර වේදය

පියාසර වේදය 
වඩා වැදගත්ය 
බිමින් යන උන්ට .
දිනෙක ,
හිමි කර ගත යුත්තේ අහස 
පියාපත් නොලද උන්මය !

Haiku - - Kanna

ශාරද සුළඟ -
ඔහේ පාවුණු දඬුකඳක් 
සෙමෙන් ගොඩ බසියි ගංතෙරට .

autumn breeze -
driftwood landing lightly
on the bank

- Kanna

Season of Flowers

Though it is the season of flowers ,
flowers themselves 
are not compelled to bloom .
It is the other way around.
When they bloom
it is the season of flowers.
The promise is indeed there
a reunion crowned with glory 
Alas ,
nothing it certain 
They might bloom 
or they might not ..

මල් සමය

මල් සමය වුව 
මල් පිපිය යුතු නැත.
මල් පිපිපුණු කල 
මල් සමය කියනු මිස .
පොරොන්දු ව ඇත .
සපැමිණෙන වග .
නම් තබා ඇත 
දැන් දැන්ම .
කිසිවක් නිසැක නැත .
විටෙක මල් පිපෙනු ඇත .
විටෙක මල් පිපෙනු නැත .