Friday, September 30, 2011

" නුඹලාගේ දරුවෝ නුඹලාගේ දරුවෝ නොවන්නාහ "


" නුඹලාගේ දරුවෝ නුඹලාගේ දරුවෝ නොවන්නාහ . ඔවුහු නුඹලා මගින් පැමිණියද ,නුඹලා වෙතින් පැමිණෙන්නෝ නොවන්නාහ .ඔවුහු නුඹලා සමග ජීවත්වන්නොය .එහෙත් ඔවුහු නුඹලාට අයත් නොවන්නාහ .නුඹලා ඔවුන් වෙත පරිත්‍යාග කල යුත්තේ ප්‍රේමය මුත් නුඹලාගේ සංකල්ප නම් නොවන්නේය .මක්නිසාදයත් ඔවුන්ට ඔවුන්ගේම පරිකල්පන ඇත්තේය . "
-Le Prophète - Khalil Gibran .

වෙනස්කල නොහැක ලොව මට .
නමුදු මා සිටුවන පැල
ඉඩහරිමි අතුපතර විහිදා වැඩෙන්නට .
මා වැඩුණු  පරිදිම .


ඉවත්කර පිළිල හැම 
යොදා දියවර 
ගොම පොහොර නිසි කොට 
වැඩෙන්නට ඉඩ දෙමි 
රිසි අත .
රිසි ලෙස .

නිමිත්ත - සමර විජේසිංහයන්ගේ " අලුත සිටවූ පැලය " කව .


Tuesday, September 27, 2011

කවි.

කවි -
පරණ මුත්
නරක් වෙන්නේ නැත .
වයින් මෙනි !

Monday, September 26, 2011

Emily Dickinson - I had no time to hate .

ඉඩ වෙන් නොවුණි වෛරයට 
මා ජීවිතය තුළ .
මිනීවල කරයි බාධා විටෙක .
කොහොමටත් නොසෑහුනි , 
ජීවිතය මට 
කෙළවර කරන්නට එදිරිවාදී කම් හැම .
 
ප්‍රේම කරන්නට 
ඉඩක් තිබුණා නොවෙයි එහෙමට .
යම් උද්‍යෝගයක් තිබෙන්නට  ඇත .
මාත්‍රවූ ප්‍රේමයේ පරිශ්‍රමය 
හිතනවා මම 
සෑහුණු බවට මාහට .

Haiku - Masaoka Shiki

ඉතිරිව මා හා තනිකම
ගිනි කෙලි හමාරව .. .. ..

අන්න කඩාවැටෙන තාරකාවක් !

- Masaoka Shiki

ගිම්හානයේ නදිය :
පාලමක් ඇතිමුත් අස
මා අසු
දිය දෙබෑ කොටගෙන එගොඩ වන .

- Masaoka Shiki

මගියෙක් ,
මොහොතකට පෙර මා පසු කල
වෙනතකට හිස හැරවූ විගස මම
දියව ගොස ඇත මිහිදුමට .

- Masaoka Shiki

මොන තරම් නොදරුවෙක් ද
යවන හැටි මහණ කමට
ගල් ගැහුණු දිළිඳු බව .

- Masaoka Shiki

Thursday, September 22, 2011

Haiku - Takahama, Kyoshi

අර , මිය ඇදුනු කපුරු මල
ඉතිරිවී ඇති හැඩයි තව
ජීවිතය එහි කොණක .

- Takahama, Kyoshi

වදනක් නැගෙයි ඔහු මුවින්
වදනක් නැගෙයි මා මුවින්
ශාරදය ,
ගෙවීයයි හෙමි හෙමින් .

- Takahama, Kyoshi

හමායන මාරුතය
අසාපන් උන්ගෙන් ,
මීළඟට ගිලිහෙන්ට නියමිත
කුමන තුරු පතද යැයි .. .. ?

- Takahama, Kyoshi



කදෝ කිමියෙකු
විසිකර දැමීමි ඈතට ,
රාත්‍රිය කොතරම් ගැඹුරු දැයි බලන්නට .

- Takahama, Kyoshi

Friday, September 16, 2011

වර්ණ.

April 12, 2011

මම කැමති 
කළු පාටට 
රාධාට ක්‍රිෂ්ණට නොව 
ඊශ්වරට අයිති !

අවැසි විට 
අන් වර්ණ පරයා නැගෙන .
නමුත් 
නෙක වර්ණ මවන්නට 
පසුතල ද සපයන ........ !

ජීවන චක්‍රය .

April 12, 2011

ඉඩ දියල්ලා සමනළුන්ට 
නිදහසේ බයිසිකල් පදින්ට 
පුළුවන් තරම් කාලයක් 

දළඹුවන් උනාම [ අපි වගේ ]
මොන බයිසිකල්ද 
කොළ කකා
වැළපෙනු මිස !

පසක්වූ නිමේෂය .

April 2, 2011

මුහුදු රළ
තාලයට වෙරළත සිඹින 
ලතාවට පැද්දෙමින් 
ගමන් යන දුම්රිය 
එහි පසෙක මම 
කල්පනා දාමයක .....
බලාපොරොත්තු 
සිහින 
එදා 
අද 

දඩස් ..........
[ කෝච්චියට මිනිහෙක් අහුවෙලා ]
මා මෙන්ම ජීවිතයක් 
එසැණින් නිමාවිය .

" රතු "

April 18, 2011

නා දළු 
කොහොමත් 
බෝ පත් වගේ 
නැත !

විටක සිනහවෙන් 
විටක කඳුලින් 
රතුවේ ......


ප. ලි. - පසුව ලියමි.

April 19, 2011

ලේන්නුන්ට 
නිදහසේ සෙල්ලම් කරන්න 
ගස් දිගේ බඩ ගාන්න 
වැලි දුවිලි නාන්න 
තිබිය යුතුමයි නිදහස .

නොඑන බැවින් 
යළි 
ඒ ළමා විය 
කිසි කලෙක ....... !

ප. ලි .

ලේන් අම්මලා තාත්තලා 
දත යුතුයි මැනවින් 
විභාග කියන්නේ 
ජිවිතයම නොවෙන වග .

අඳුර .. .. මා මිතුර .

April 19, 2011

දනිමි මම 
අඳුරේ අගය . 

එළිය අගයන 
අය වෙති 
බොහොම . 

එළියේ පැවැත්ම 
අඳුර මත .
අඳුරේ පැවැත්ම 
එළිය මත .

එබැවින් 
අඳුර අගයන්න 
සිටිය යුතුමය 
අයෙක් !!!

දන්නා තරම .

May 14, 2011


කොහි සිට පැමිණියෙම් ද 
නොදනිමි .
කොයිබට යම් ද 
නොදනිමි .


නිසැකව දනිමි 

මියැදෙන  බව නම් දිනෙක .
එනමුදු නොදනිමි 
ඒ කෙදිනදැයි කියා .......... !

සඳ හා මම

May 21, 2011


Translation of a haiku by  Koha (around 1890's )
[ From Japanese Death Poems . ]


අතහැර දැමූවෙමි පන්හිඳ 
අද පටන් කතාව මුහුණට මුහුණ 

සඳ සහ මා අතර !


පළමු පෙම් කව

June 5, 2011

ශුෂ්ක බිම් කඩක සුපිපි 
එකම කුසුම .
වසර ගණනක සාරය 
එකට කැටි වුන .  

නෙලා ගත්තීය ඈ ..

ඉතා කදිමය මෙය 
තිලිණයට ඔහුට 
සමරමින් ප්‍රේමයේ 
වසරක කඩඉම ....

හදවත ... .. ...

June 6, 2011

හෘදය වස්තුව යනු සියළුම පෘෂ්ඨවංශිකයන් සතුව ඇති රිද්මයානුකූල සං‍කෝජනය මගින් රුධිර වාහිනී හරහා සිරුර පුරා රුධිරය පොම්ප කරන මාංශ පේශීන්ගෙන් සැදුම් ලත් අවයවයකි. හෘදය වස්තුව කුටීර 4කින් යුක්ත වේ. ඉහලින් පිහිටා ඇති කර්ණිකා දෙකක් සහ ඊට පහලින් අනිකුත් කුටීර දෙක වන කෝෂිකා දෙක පිහිටා ඇත.

මොන ,
ඒ ඉස්සර 
දැන් කර්ණිකා 
කෝෂිකා 
දෙකම නැත 
අඩක් දැවී ගොසිනි 
අඩක් ගෙවී ගොසි...

කවි සතරක් ( Translation of a Haiku by ~ Matsuo Bashō )

June 8, 2011

වසන්තය 
නිර්නාමික ශිඛරය 
මිහිදුමින් වැසී ගත් 

සරත් ඍතු මුල
සයුර හා පළා වන් කෙත් බිම 
සම පැහැති පිළි හැඳ

වියළි සරත් සුළඟ 
හමා යයි මහා හඬින්
තවමත් ඉතිරිව 
ජීවයේ කොළ පැහැය 
තුරු පත් අතර 

එකළු වෙයි හාත් පසම 
සැණකින් 
අකුණු සරකින්
හඬයි කිරලෙක් පාළු රාත්‍රියක . 

No Title .

June 25, 2011

නිසි කල පැමිණෙන්නෝ මෙන්ම 
නිසි කල නික්මයන්නෝ ද 
භාග්‍යවන්ත වෙත් .
පියාගේ පියා ද 
පියා ද 
පුතා ද 
පිලිවෙලින් නික්ම යා යුතු !

සතුටින් දන්වන වග නම් .

June 25, 2011

සඳ 
රාත්‍රියට 
ගෙන්දගම් බිම් මතින් 
කොන්ක්‍රීට් කඳු මැදින් 
කුණු කානු වල වැටී වැටී
කම්බි වැටවල් වලින් බඩ ගගා 
කවි සිත් සොයා යන බව දනිමි .

මදක් විමසිල්ලෙන් බලා හිඳින්න 
වැටහේවි එවිට 
හිතූ තරම් අඳුරු නැති වග 
රාත්‍රිය .