Sunday, February 2, 2014

Life moves on..

තක්සලාවද ඇවිද ගොස්ය
අප අත්හැර අනාගතයට .

අතීතය 
කම්මුලට අත තබාගෙන 
අප දිහා බලාගෙන .
අප 
එකිනෙකාගේ හිස් වලට ඉහලින් 
කුමක්දෝ දිහා බලාගෙන .

හවස

මන්දාරමෙන් වැහුන හවස පාලුව ගෙනෙයි 
පැරණි එක සිනහවක් මතක කොනකින් එබෙයි 
මී විතයි ගී පොතයි මිතුරු හමුවක් මවයි 
ගල් බෝතලෙත් අරන් කපුගේත් එන හැඩයි !

Woman , Burdens they carry and Fashion !

අයිඩියල් ගැහැණිය නම් දුක් විඳින කියල අපේ සමාජයේ යටිහිතේ තියෙන අදහස ඉවත් කරගන්න සුදුසු පරිනාමිය පසුබිම මේ වෙනකොට තියෙනවා කියලයි මට හිතෙන්නේ . මෙතන බැලු බැල්මට තියෙන්නේ ප්‍රයෝරිටි ප්‍රශ්නයක් වගේ පෙනුනනට මන් හිතන්නේ එතනින් එහා ගිය දෙයක් මේක තුල තියෙනවා .දරුවෙකුට ලෙඩක් දුකක් හැදුනම අම්මා කෙනෙක් මේකප් ගැන හිතන්නේ නැහැ . තාත්තා කෙනෙකුත් එහෙමයි. නමුත් ඒ වගේ එක්ස්ට්‍රීම් වලින් තොර තැනක කාන්තා මනෝවේදයට අවශ්‍ය විදිහට තමන්ගේ පැවතුම් සකසාගැනීම මං දකින්නේ අයගේ ජිවන තත්වයේ ඉහළයාමක් හැටියට . ආර්ථික සාධක වගේම සංස්කෘතික සාධක වලින් මේක තලා පෙලා දානව වෙනුවට සිදිවෙන්න ඕන පවතින තත්ත්ව වලට යාවත්කාලීන වෙමින් තමන්ගේ ජිවන තත්වය උසස්ව පවත්වාගැනීමයි .කව්රු කිව්වත් තමන්ට වඩා වැදගත් තමන් වයි . තමාට තමා වැදගත් කෙනෙකුට තමයි ඒ ඇසුරෙන් වෙනේකෙක්වත් වැදගත්ව දකින්න පුළුවන් . තමන් දියුණු කෙනෙකුට තමයි තමන්ගේ දරුවන්ට ස්වාමියට දියුණුවෙන්න උපකාර කරන්න පුළුවන් . දුක් විඳින්න නෙමයි , විඳින දුකෙන් ක්‍රමානුකුලව පිටතට එන්න පුළුවන් .

Faith and Faith related Icons

උපක්‍රමයක් 
ක්‍රමලේඛයක් 
පරිනාමීය ප්‍රපංචයන් 
නිවැරදිව ප්‍රතිග්‍රහණය කරන ලෙස 
යුග ගණනාවක් හරහා 
සූක්‍ෂමව යාවත්කාලීන කරන ලද .

බහුතරය ආකර්ශනය කරගනු පිණිස 
බහුතරය නිද්‍රාවට පත්කරනු පිණිස 
සුළුතරය නිහඬ කරවනු පිණිස
එදා
අද මෙන්ම හෙට
යොදාගන්නට නියමිත .

ප්‍රේම කවිත් නොවන කවිත් නොවන කවි I I

වරක් දෙවරක් දැවුණු මුත් ,
එදිරිවාදීකම් කිසිත් නැත 
ප්‍රේමය කෙරෙහි අප සතුව .

ප්‍රේමය 
ස්වභාවයේ කොටසක්ව 
ස්වභාවයේ කොටසක් ප්‍රේමය ව 
ගතිකව . 
සමතුලිතව .

පෙර ද වී මෙන් පෙනෙන
පෙර වූවක්ම නොවන
ව්‍යාකූලව විහිදෙන .

කාලය ඇරඹි තැන පටන් ඇරඹුන
අප කැමති වුව නොවුව
කාලය නිමා වන තුරුම හෝ
ඉනුත් ඉදිරියට පැවැත්මට නියම වුන !

කලකට පෙර උණ විකාරෙන් සිටියදී ලියවුණකි . ඒ මා ද , මා නොවන්නේ ද නොවන බැවින් කතෘ අඥාතයි .

නික්ම යාමට ඉඩ දීම

ගිලිහුණු පතක් යලි 
ගසකට අයිති නොවන .
දිරා ගොස් පස් වනු මිස .
ඉදින් 
ඒ නික්මීමය 
නික්ම යාමට ඉඩ දීමය .

ප්‍රේම කවිත් නොවන කවිත් නොවන කවි I

ඒ අක්බමරු කෙස්කළඹ ය ස්වාමීනි වැරදි කරු !
වැඩියත්ම නළලට වැටුණු කෙස් රොද.
ඊටත් බෝරිච්චි අත් සාරිය ( වැරදුනා ඔසරිය , මොකක් හරි ඒක )
අප එසේ කැමති බව වත් එතෙක් නොදැනම .

චූදිත අංක දෙක .
බම්බලපිටිය දෙසින් හමා ආ සුළඟ .
ඉතාම අවිනීතයි සාරියට කල හදිය !
අක්බමරු කෙස් කැරලි සුළඟට විසිරුන .

අප යන දෙසටමද කොහෙද .
ඉස්ටේසන් යකඩ කට දෙස ගැස්සී හැරී බැලු විදිහට .

සමාව සුවාමීනි
ඒ හරිය නඩුවට අදාළ නැත .
ඇත්තටම සුවාමීනි
නඩුවක් නැත !
අප උසාවි ගැන වත් නොසිතූ කාලයක
ඈ වෙනෙකෙකුට තීන්දුව දී ඇති වග
ඔහු පැමිණ බඳ වටා අත වෙලාගත් සැටියෙන් වැටහින ..

මීට කලකට පෙර උණ විකාරෙන් සිටියදී ලියවුණකි . ඒ මා ද , මා නොවන්නේ ද නොවන බැවින් කතෘ අඥාතයි .

කාරුණික ආයාචනයක් !

මේ කරන්නේ කාරුණික ආයාචනයක් . ජාතිවාදය හා ආගම්වාදය කියන උන්මත්තක මානසික තත්වයට වැටෙන්න එපා . දශක තුනක් ඇතුලත දෙවෙනි වතාවටත් අපි රටක් වශයෙන් වරද්දාගනිමින් ඉන්නවා . මේක බොහොම වේගෙන් වර්ධනය වෙනවා .

මම මේ කතාකරන්නේ ඔබට !
ඔබ වෙනස්වෙන්න .
මේ රට හැදිලා තියෙන්නේ ඔබ වගේ ලක්ෂ ගණනක් දෙනා එකතුවෙලා .අපිට පුළුවන් මේ වෙනස කරන්න . අපිට බැරි නම් වෙන කාටවත් බෑ . මේක තමයි අවසාන මොහොත .

ඔබ දැනටමත් වටහාගෙන නම් ඉන්නේ නිහඬව ඉන්න එපා . කතාකරන්න හැමදෙනාම අතරට මේ පණිවිඩේ ගෙනියන්න . ඔය ඉන්නේ යකෙක් ඔය යකා කලුයි . ඉල්ලන්නේ ලේ .රට ආයෙමත් සැරයක් බිලිගන්න ඉඩදෙන්න එපා ඌට ..

මැකීයාමක්

වෙරළටත් රළටත් මතක නැත 
මෙතෙක් කොපමණක් නම් අඩි 
මකා දැම්මේද යන වග ..

වැරදීම

අපි අපේ නොවුනේ ඇයි දැයි
අතීතය මගෙන් අහනවා අහනවා .
මම නෑසුනා වගේ ඉන්නවා .

වැරදුනා තමයි ඇත්තයි .
ආපහු යන්න දුර වැඩියි .
මේ සංසාරේ බර වැඩියි .

ඒ හීනයක් වගේ හරියක් 
බලෙන් විත් අවදි කෙරුවත් 
අවදි නොම වෙමුයි දිවුරුවා .
එක්තරා උදයක
නුඹ අවදිවී ගොහින් තිබුනා .

වැරදුනා තමයි ඇත්තයි
එතැන් සිට හරි පාරවල්
නැති බවත් සත්තයි .

ඇතුගල අස

අදත් කළුවරේ එනකොට 
යන්තමට ඇහුනා මට 
සුසුමක හඬ 
ඇතුගල දෙසින් එන .

අප ගැන හඬනවා වත් ද ඇතුගල ?
අපි වත් නොහඬන කොට අපි ගැන..

Dynamics of Culture

මොනම සංස්කෘතියක්වත් තනිව පහළවුණු ඒවා නෙමෙයි . ඒවගේම ස්ථතික ඒවත් නෙමෙයි . අනික් සංකෘතින්ගෙන් සාධක අවශෝෂණය කරගනිමින් සහ ඒමගින් වෙනස්වෙමින් හැඩ ගැහෙමින් තමයි සංස්කෘතියක ප්‍රගමනය සිදුවෙන්නේ . ඔය අපේ කියල කෑගහන කිසිම දෙයක් අපේ නෙමෙයි . ඒක බෞද්ධ , කතෝලික හින්දු ආදී මොන සංස්කෘතියකට උනත් එහෙමයි .

Stray Birds - Rabindranath Tagore

මරණයේ මුද්‍රාව
ජිවිත කාසියට අගය ලබා දෙන .
සැබවින්ම අනර්ඝ දේ
ජීවන මිලෙන් පියවෙන .
- Stanza 99 - Stray Birds - Rabindranath Tagore

මා
ජීවයේ , මරණයේ හා ප්‍රේමයෙහි
දියදහරේ පාව මැකීගිය
තවත් යුග සිහිකරමින් .
නික්මයාමේ නිදහස අත්විඳිමින් .
- Stanza 97 - Stray Birds - Rabindranath Tagore

කළල

මඩ නැතිව පතුළත 
විලක දිය නොරඳන .
විලක නිල රිසි අය
කළල පිළිගත යුතුය සතුටින ..

ජලාල් අල් දින් රූමි

වැරදි හා නිවැරදි 
අදහස් බැමි වලින් එපිට 
එක් තැනිතලා පෙදෙසක් ඇත .
හමුවන්නෙමි මා නුඹව එතැන. 

- ජලාල් අල් දින් රූමි

ප්‍රේමයේ පුර්ව ක්‍රමලේඛනය

හසුවන ලෙසට 
මග දිගුවන ලෙසට 
සිදුකල 
ප්‍රේමයේ පුර්ව ක්‍රමලේඛනය
ඉතා බලවත්ව .

නොදියුණු අය 
නොදැනම හසුවන .
තරමක් දන්නා බව 
සිතන අයට වුව 
හසු වන්න සිදුවන

දිගු කාලීන පව

කුඩා අනු කුඩා 
එදිනෙදා පව් මෙන් මෙන් 
ගෙවා නිම කරනු නොහැකිය 
දිගු කාලීන පව !

අල්වාගත් සැනින් 
තවත් දිගුවක් ඇරඹෙන .
කියන තරමටම 
පහසු නැති මුත් 
අත්හැරීමය ක්‍රමය 

වියවුල

නියමයක් නැති 
එල්ලයක් නැති දේ වල 
රටාවන් දුටු කලක් 
අපටත් තිබුණු බව මතක .
විශ්වීය නියමය 
වියවුලෙන් වියවුලට යන වග .
රටාවක් දුටු මුත් 
රටාවක් නැත .
මදක් දුක් වුවා පමණ .

පාපය

දිගුකාලීන පාපය 
ලෝකයේ පැවැත්මට දායකවන .
එලෙසටය 
මුලින් අත්සන් කරන ලද ගිවිසුම.
ගල් ගැසුවාට කමක් නැත 
කුඩා පව් වලට .

තුමනි !

තුමනි ,
වඩා සුදුසුයි .
අඳුරු කල වීදුරු .
තව බොහොම කල් ඇත .
ඊළඟ වටයට .
එතෙක් දුක දකින්නට 
උවමනා නැත .

A Social and Conceptual Vacume

යුද්ධය අවසාන වන තුරු යුද්ධය මත යැපුණු සමාජය තුල දැන් තියෙන්නේ රික්තයක් . මේ රික්තය පුරවන්න වඩා සුදුසු සංස්කෘතිකමය හා දේශපාලනික වශයෙන් දියුණු මතවාද . නමුත් එසේ සිදු නොවීමත් එක්ක මිත්‍යාව සහ ගෝත්‍රික මතවාද හිස් ඔසවමින් ඉන්නවා . මට පේන හැටියට නම් මේක ඉතාම භයානකයි . මේ ඇරඹුම දෙකොටසකට බෙදීමකින් එහා ගිය කුඩා කොටස් වලට පුපුරා යාමක් දක්වා වර්ධනය වෙන්න උනත් බැරි නැහැ . අපේ ජනතාව අතිශයින් දේශපාලනිකයි . නමුත් ඔවුන් සතු දේශපාලනික හැදෑරීම ඉතා සීමිතයි . ප්‍රශ්නේ කොටසක් තියෙන්නේ මෙතන. අපේ රටේ "ඩිමොක්‍රසිය" දුවන්නේ අහුවීම හා අහු කරගැනීම ඇතුලේ පමණයි . විචක්ෂණ වීමක් හෝ අනතුරකට සංවේදී වීමක් ගැන හෝඩුවාවක් වත් නැහැ . ප්‍රතිකර්මයක් හැටියට කලහැකි එකම දේ දැනුවත් කිරීම . නමුත් අදවන තුරු ඒක අසාර්ථකයි .

සීයා ගැන

අප හැමෝටම වාගේම 
ඔහුටත් නික්ම යන්නට සිදුවිය .
අපි හැම දෙනම 
කවදාක හෝ මැරෙන බව 
මට කියා දුන්නේ ඔහුය .
දුක් වෙලා පලක් නැහැ කොල්ලෝ 
සියලුම සංස්කාර අනිත්‍යයි .
මටත් එහෙමයි .
උඹටත් එහෙමයි .

ඔහු බිය නොවීය මරණයට .
නියමිත වෙලාව පැමිණිවිට
සියුම් මදහසකින් යුක්තව
මෙසේ කියන්නට ඇත ඔහු මරණයට .

ආ තමුන්නාන්සේ ආවද ?
මටත් ටික කාලෙක ඉඳල තේරුනා
යන්න වෙලාව ලඟ බව .
අන්තිම කාලේ නම්
ටිකක් අමාරු උනා තමයි .
අසූවක් වෙනතුරුත්
කුඹුරු වැඩ කරපු මට
අන්තිම අවුරුද්ද දෙක
බැරි උනා නෙව ඇවිදගන්න වත් හරියකට .
ඕවා ඔහොම තමයි උන්නැහේ
ජාති ජරා ව්‍යාධි මරණ .

වැඩ කටයුතු නම් නිමයි .
දූ දරුවනුත් දැන් හොඳින් .
මුනුපුරෝ මිනිපිරියෝ
ලෝකේ තැන තැන වල ගොහින්
මේ ළඟකදිත් ඇවිදින් ගියා
රට ඉන්න දූලා හෙම .
ඒ කාලේ වගේ නෙමෙයි
දැන් ලෝකේ හරි කුඩයි.

කරපු යහපත බොහොමයි .
නරකත් නැතුවම නෙමයි .
ජීවිතේ එහෙමයි .

ඉතින් උන්නැහේ පටන්ගමු ගමන එහෙනම් ...

නිමි

මියගිය වෙලාවක් දිනයක් 
තවමත් නොදන්නා මුත් 
තවත් මල් නොපිපෙයි 
දළු නොදමයි .
ඉදින් ඒ 
හැර යන්ට කාලයයි .
අපිත් කැමතියි 
පැහැදිලිව කියනවා නම් 
තැන මෙන්න මෙතැනයි .
එතැන් සිට නිමියි යැයි .

ගඟක්මය මුහුද

ගඟක්මය මුහුද
තරමක් තදින් හැඬුවට 
රළක්මය වෙරළ 
දැන් නිදාගෙන උන්නට 
වසන්තය පැමිණ 
මල් බිඟුන් හැම නැතුවට 
සිතක් ඒ බිඳුන 
නොබිඳුණු ලෙසට හිටියට .

Tears !

ප්‍රභාතය පැමිණි විගසම 
සීරුවෙන් කන් යොමන විට 
හිමිහිට ඇසෙන්නට ගනියි 
නමක් නැති තෘණ වල 
කඳුළු පිසගෙන හමන
මන්දමාරුතය 

සෙව්වන්දිය

සෙව්වන්දිය ,
අතු අගක විකසිත .
මහා වැස්සක් 
මහා හුළඟක් කුමටද 
සෙමෙන් නටුවෙන් ගිලිහී 
උකුල මත පතිත වනු හැකි විට .

අපි නිදහස් ද ?

ද්විකෝටිකයට විරුද්ධව යන බව හැඟුනත් මට හිතෙන විදිහට පිළිතුර ඔව් සහ නැහැ යන දෙකම . 

නිදහස යනු කුමක්ද කියන කතිකාවතෙන් බැහැරව , තමන් නිදහස් යයි අනෙකෙක් විසින් කරන ප්‍රකාශය පිළිගෙන යමෙකුට "නිදහස්" විය හැකියි . ඒ අනුව අපි නිදහස් . 

නමුත් සැබෑ නිදහස කියන කතිකාවත ඇතුලේ නම් අපි ඉන්නේ නිදහසින් බොහොම දුර තැනක . නිදහස විවිධ ස්ථර වලින් යුක්තයි . ප්‍රජාතන්ත්‍රවාදය හා මානුෂික අයිතිවාසිකම් වලින් හැඟවෙන්නේ නිදහසේ මතුපිට ස්ථරය . වඩා අභ්‍යන්තර ස්ථර වල තියෙන්නේ චින්තනයේ නිදහස . ඒ නයින් නම් අද ලෝකයේ නිදහස් මිනිස්සු ඉන්නේ ඉතාම අල්ප වශයෙන් .

කවි මකන

සබඳ ,
කවි මකනයක් ගෙන 
මතක ඉරි මකන
හැම මතකයක් අගම
කවක් ලියවී තියෙන .
ඉතින් අපි කවි ලියන 
ලියනු බැරි කවි කන !

පියාසර පාසල

පියාසර පාසල 
බත්කූරන්ටත් විවෘත්ත.
සංග්‍රාම උපක්‍රම 
අහස් අනතුරු වලකන 
ඉගෙන ගනු හැකිවන .
මැඩි වගුරෙන් පිටත 
මහා විසාලෙට ලෝකය ..

Why Not ...

හමුවීමකින් හා 
එක්ව පැවතීමකින් අනතුරුව 
වෙන්වීමය ,
ස්වභාවික .
ඉදින් ,
කඳුළු සෝ සුසුම් වෙනුවට 
සාද කතාවකින් අනතුරුව 
මද සිනා සහිතව 
විසිර යා නොහැකි වෙද

Retirement

විශ්‍රාම ගෙන 
අවසන් වතාවට පාසෙලෙන් නික්මෙන 
ගුරු මහතෙක් මෙන් 
කැඩුණු ඔරු බඳ 
ගඟ දියට සුබ පතන ..

කතාවක්

හැම පිණි බිඳකටම 
හැම තණ පතකටම 
කියන්නට ඇත කතාවක් .
ප්‍රභාතය පැමිණ 
අවසාන සීනුව 
නාද කරනා තුරුම .

ළිං මැඩි

ළිං මැඩි තෙම ,
වරක් පැමිණි පසු 
සුපුරුදු ලිඳෙන් එලියට 
නැවත යා නොහැකිව .
යනු රිසිව 
යා නොහැකිව ..

කදෝකිමි සිහින

කදෝකිමියන් රැසක්‌ එකතුව 
තද බල වෑයමක 
සඳෙන් කොටසක් අල්වා ගනු පිණිස .

සඳ නිදන මොහොතක 
කට ලොකු මල්ලකට 
වහ වහා ඔබාගෙන 
පැහැර ගෙන යමු යයි 
දැනට යෝජනා වී තිබෙන .

කදෝකිමි අපට
අහස හිමි වන දිනය
වැඩිය ඈතක නොවන .
(චන්ද පෝස්ටරයක තිබුනේ එහෙම )

මං අතරමං

අහසත් පොළොවත් අතර 
අතරමං වී ඇත වලාකුළු .
මොහොතකට මමත් 
අතරමං වනු පිනිසට 
හිතේ අහුමුලු පීරමින් .

Search

සේකරත් ප්‍රබුද්ධව හෙව්වා 
ඒ කාලේ ,

අපිත් හොයනවා 
දැන් ,

ප්‍රබුද්ධත් හොයනවා 
ප්‍රබුද්ධව 
හුඟක් කාලෙක ඉඳන් .

කාට නොලැබුනත් ලැබුනත් 
සෙවීමයි වැදගත් 

An Ecological Perspective

අරාජික කඳු මුදුන් මත ,
ඔහේ දිවිගෙවන නමක් නැති තෘණ වලට 
ආඩපාලි කියන උන් බොහෝ වන .

උස් තුරු හිස් වෙලාගෙන වැවෙන ,
පිළිල වූ ලතාවන් මල් වලින් වැසී ඇත .
ඉදින් කිසිවෙකුත් නොසොයන ,
උස් තැන් සුවඳවත් කරයි යයි 
බොහෝ කොට පසසන .

මෙහෙම හැමදාම
අවලාද විඳිනු බැරි තැන
තෘණ දිනෙක මියැදෙන ,
කඳු නාය ගොස් ඇති වග
පසුව දැනගන්ට ලැබෙන .

පිළිල නම් එහම නැත ,
එක වරම නොමරන.
කලක් උස්ව වැජඹුණු අය
කෘෂව දුක් විඳ මැරෙන .

පසුව ලියමි.

උස් අයට වුව ,
තනිව පවතිනු නොහැක.
නූස් අයවලුන් වෙත ,
පැවැත්මේ යම් තැනක .
කෙතරම් සුවඳ වුව ,
පිළිල නම් පිළිලමය.
අනුන්ගෙන් යැපෙන .
මරාගෙන මැරෙන .

සිසිරයම නම් හේතුව

සිසිරයම නම් හේතුව ,
වසන්තය සුව කරනු ඇත රෝගය .
දුක එහෙමමත් නැති එක .
සමහරක් රෝග
සුව නොවන එක ..

හෘද ප්‍රලාපය

ඇරඹෙන්ට තිබු නමුත් හරි හැටි නො ඇරඹුනු 
නිමවෙන්ට තිබු තැනත් නොදැනීම පසු වුනු 
වංකගිරි මගක කොහේදෝ නතරවුණු 
යමක් ඇත ලියන්නට පද තවම සැඟවුණු 

මගක් බෙදුණු පසු එක මග නොයනු ඇති 
සරත් පත් එකින් එක සිසිරය පැහැරගති 
තරුත් නිවී යයි සඳ වත පැමිණ නැති 
කදෝකිමි අපට අඳුරත් පුරුදු වෙති 

මලක් නම් පිපෙයි පරවෙයි ඒ ස්වාභාවිකයි .
රළක් නම් ඇදෙයි විසිරෙයි හඬා වැටෙයි
බිඳෙයි බිඳුනු දේ විසිරෙයි යළිදු තැනෙයි .
බිඳෙන්නට හදක් ඇති එක නම් හොඳයි තමයි .

තරුවක්

කලපු දිය මත අඳුරු සෙවනැලි 
පීරමින් සඳ කුමක් සොයනුද ?

සඳ සොයන්නේ තරුවක්
අහසින් වැටුණු තරුවක් ,
මින් වසර අටකුත් 
මාස දෙකකුත් 
දවස් තුනකට පෙර 
කලපු දිය මත ගිලී ගිය තරුවක් ..

Anti Climax

එකම චිත්‍රපටිය 
නැවත නැවත පෙන්වන .
හරියටම ඒ හරිය එන විට 
නුඹ තවමත් අඬන !
අප හිස අතගගා සනසන .
නිමාවී නැතුවාක් මෙන් ,
නිමා වූ බව දැන දැනම ..

රූපාන්තරණය

දළඹුවන් සමනලුන්ටද 
සමනලුන් දළඹුවන්ටද 
විටින් විට රූපාන්තරණය වන .. 

සියුමැලි මල් දමක මෙන් 
කැත කළු අකුරු තුල වුව 
නෙක නෙක සිහින ඇත .

සමයක් නිමාවෙත 
තවත් සමයක් ඇරඹෙත .

Stray Birds - Rabindranath Tagore

සඳවතිය ,
කුමක් නිසාවෙන් පමාවෙන්නෙහිද නුඹ ?
ඒ සමාචාර කරනු පිණිසටය හිරුට
මා ඉඩ දී නික්ම යා යුතු වන .
Stanza 30 - Stray Birds - Rabindranath Tagor

නොදරුවෙකි මිනිස් තෙම ,
උපන් විගසකම
වැඩීමේ වරය ලද !
Stanza 25 - Stray Birds - Rabindranath Tagore

අප වියැලුනු තුරුපත් ,
කුනාටුවක හඬ
රැගෙන එනු හැකි වන !
හැබෑටම කව්ද නුඹ ?
ඔය තරමටම නිහඬ.
නමක් නැති මලකි මම .
Stanza 23 - Stray Birds - Rabindranath Tagore

මම
නිරන්තර පුදුමයක මැද හිඳින ,
ජීවිතය නම් වන .
Stanza 22 - Stray Birds - Rabindranath Tagore

නිර්මාණයේ අභිරහස
හාත්පස වසාගෙන ,
රාත්‍රී අන්ධකාරයව පැතිරෙන .

බුද්ධිමය මායාව ,
අලුයම මිහිදුම සේ සැඟව යන .
Stanza 14 - Stray Birds - Rabindranath Tagore

අද ද ඊයේ ද නොවන

තවමත් අතීතයට අයිති නොවූ කාලයක 
දැන් නොපවතින දෙදෙනෙක් 
ගාලු මුව දොර 
සරුංගල් දෙස බලාසිටි හැටි .

කැමති අය - කැමති හැටියට

සඳ ,
පැය අටක 
සේවා මුරයකින් අනතුරුව 
අදත් බැස යන්න නියමිතව .
ගිවිසුම් ප්‍රකාරව .

සේපාලිකා මල්
මේ කිසිත් නොදැනම 
සඳ හමුවන්ට සැරසෙන 
සුවඳ පැන් සනහන . 

මින් මද කලකට
ඉහත නම් අප
සේපාලිකා ගැන දුක්වන .

දැන් ,
දුක් නොවනවාම නොව.
නමුත් ,
නැගී ඒමය
බැස යාමය
පිපීමය
පරවයාමය
ස්වභාවය .

ඒ අතර
ස්වල්ප කාලාන්තරය
වන මෙය ,
කැමති අය
කැමති හැටියට .

බිඳී යාම

බිඳී යාමකින් අනතුරුව 
විශ්වය හැසිරෙන ස්වභාවය 
නොසිදුවීමකින් වෙනස්වන .

ගස් නම් කොලපාට ,
මල් නම් රතුපාට .
බිඳුණු විටද එහෙමම .
මදක් මැලවුණු වර්ණ මිස .

අප නැවත නැවතත් 
බිඳීම තෝරාගන්න .
නැවත ඇරඹෙන්නේ එවිට .
සිදු නොවුණු විට
නොඇරඹෙන ..