Friday, November 25, 2011

ඒ යථ සහ මේ යථ .

ගෙතූ කතා කියා ජාතියක් නැත .
හැම කතාවකම ජීවිත ඇත .
උන් අපි කියා වෙනසක් නැත .
ඒ යථ මේ යථින් 
වෙන් කරන ඉරක් නැත .
මායාව තුල හිඳ
මායාව දකිනු නොම හැක .

ප. ලි . විශ්වාස නැති නම් සොෆී ගෙන් හරියටම අසා දැනගන්ට හැක .
[ Sophie's World- Jostein Gaarder ]

A fairy tale

ගෙම්බා කරකවමින් ඇස් දෙක 
හිතනවා මෙහෙම .

හපොයි !
මෙයත් ඉඹියිද මාව .
කුමාරයක් වෙලා ඉඳල ඇතිවෙලා මට .
ගෙම්බියක් හොයාගෙන
පවුලක් පන්සලක් වෙන්න
කාලය පැමිණිලා ඇත .

උමතුව !

අවැසි දේ කියා ගන්නට නොහැකිව ඇත .
තේරවිලි කියන්නට සිදුව ඇත .
තවම තේරුම් ගෙන නැත .
ඉන්නවා වන්ට හැක
නොතේරුණු විදිහට .
ඉතා පහසුය නොතේරෙන එක .
ප්‍රශ්න කරදර අඩුවට .

මල් මල් වගේ නැත .
නටු අග නොව
පෙති යටත් කටු ඇත .
අහස නිල් නැත .
කළු වලාකුළු ඇත .
රිදී වන් විදුලි ඇත .
නොහිතන වෙලාවක
හිස මතට වදිනු ඇත .

ප්ලේටෝ දන්නා බම්බුවක් නැත .
එහෙම ධාර්මික උන් නැත .
හුළු අත්ත ගෙන ඩයොජිනියස්
සත්‍යවාදී මිනිසා සොයා යත .
අදටත් හම්බුණ වගක් දැනගන්ට නැත .

මේවා කියා වැඩක් නැත .
අමතක කරන්නට තීරණය කර ඇත .
යළි උමතුවූ දිනක ලියනු ඇත .

ඒක එහෙමය .

වසර ගණනකට පසුවත් 
ඇස් දෙක තාම මතකය .
මතක කීවාට අමතකය .
වැර වෑයමින් අමතක කල විට එහෙමය !

a porcupine.

ඉත්තෑවන්ව වුව 
සිපගන්න බැරිම නැත .
හොම්බ හරියේ කටු නැත .

මුල්ම කාලෙදි 
අනිත් හරියෙත් නැත .
ප්‍රේමයන් කිහිපයකට පසුව
ටිකෙන් ටික හැදෙනවා මිස !

An intoxication .

මිතුර ,
නිදි ගත් වන සිටින වුන් 
ඇහැරවිය නොහැකිය .

විකාර රූපී ස්වප්න
අනේක විධ මායා බන්ධන
දෙනෙත් දෙසවන් වෙලාගෙන ඇත .

යථ කටුක රස ඇත .
මායාව එහෙම නැත .
පැණි රස කැමති නම් එහෙම
කිරට නම් කිරට
නැති නම් මිරිසට
විවිධ රස ඇත .

බෝගන්විලා .

වැඩි සුවඳක් නැත .
කාටවත් බයත් නැත .
වතුර දැම්මත් නැතත් 
මැරෙන්නෙත් නැත .

කිසිවෙකුට අත නොපා
හැකි නම් රැකෙන්නට
නැතිනම් මියෙන්නට
තීරණය කොට ඇත !

Clueless .

අපි ඇතත් අපි නැතත් 
වැස්ස හයියෙන් වහින 
මිහිකතම මුළුමනින් 
සඳ දියෙන් තෙමෙන .
මිහිදුමේ සළු පටින් 
සඳ කොපුල් දිලෙන .

හිම උනත් වැටෙන .
මල් හෙමත් පිපෙන .
හරියටම වැටහෙන්න
ටික කලක් ගත වෙන .

World Views .

කවුළුවලින් බලන්නට හොඳ නැත .
ලෝකය පෙනෙන්නේ එවිට 
කුඩාවට .
හුරුබුහුටිවට .
ඇසට සරිලන විදිහට .
අතට අහුවෙන තරමට .

ලෝකය එහෙම නැත .
මහා විසාලෙට ඇත .
අපිව සත පහකට
ගණන් ගන්නේ නැත !

Friday, November 18, 2011

විඳීම .

සාහිත්‍ය රසවින්දනයේ විවිධ මානයන් ඇත . සියල්ල එකම රාමුවක් හිඳ විඳින්නට නොහැක . පාවුලෝ ගේ ඇල්කෙමිස්ට් විඳි තැන හිඳ හේස් ගේ සිද්ධාර්ථ කියවීම කල නොහැක . ටෝල්කින් විඳින්නට නම් ඒ දෙදෙනාගෙන්ම පිටත මානයකට යා යුතුය . සයිමා සිටින්නේ වෙනත් ඉසව්වකය . ඒ දෙසට යන අතරමග ජයසේන ජයකොඩි සහ අරලිය මල් ආරාමය දකින්නට නොලැබෙනු ඇත . සුජීව ප්‍රසන්න ආරච්චි හෝ සනස්ගල වුව විඳින්ට හැක . හැබැයි තික්ත කසාය හා ලොසින්ජර එකට බුදින්නේ නැත . මායාව ද ප්‍රිය ජනකය . රෝව්ලින්ස් වියන මායා ජාලය ලූකාස් වියු එක මෙන් නොවනු ඇත . වෙනසකම් ඇත . වෙනස් රස ඇත . ගාර්ෂියා මර්ක්විස් ද ඔබට හමුවනු ඇත . සියක් අවුරුදු තනිකම මෙන්ම කොලරා කාලයේ බැඳි ආලය තව තවත් මාන එක කරනු ඇත . නීට්ශේ ගේ සරතුස්ත්රාවට ද ඛලීල් ගිබ්රාන්ගේ මුනිවරායටද සම තැන නොලැබෙනු ඇත . ඔවුන් නිසි තැන වල හිඳ වැජඹෙනු ඇත . කෆ්කා වුව මුහුදු වෙරළේ ඉන්ට බැරි කමක් නැති අතර අම්බෙර්ටෝ එකෝ ගේ නේම් ඔෆ් රෝස් වෙනම මානයක් වෙනම කෝණයක් අයත් කරගනු ඇත . ගෝරා කියා පොතක් ඇත . තාගෝර් විඳීම ඇරඹෙනු ඇත . මෙයාකාරයේ විඳීම බොහොමයක් ඇත . එකක් දෙකක් කියා නවත්වන්ට සැලසුම් කල තිබුනද විඳීම අපි කියන දේ අහන්නේ නැත . විඳීම මෙතෙකින් නතරවෙන්නේ ද නැත . නිම් වලු පුළුල් වනු මිස යලි හැකිළෙන්නේ නැත . නැවතත් කිය යුතුය . එක එක මාන ඇත . එකක් අනෙකට වඩා උසස් හෝ පහත් නැත .  
අවවාදයයි  .
විඳීම අරඹන්න හැක .
ඇරඹුණු පසු ලොවෙත් නවත්වන්ට නම් බැරිය !

Sunday, November 13, 2011

රාහු

කිසිවෙක් කියන්නේ නැත , 
රාහුගේ කතාව .
අතහැර ගියාට සඳවතිය
ගියේ කැමැත්තෙන්ද යන වග.

මහ එපා කරපු රස්සාවක් ඕක .
කැමති වෙලාවට ගිල ගන්න ,
වෙලාව ආවිට ඉවත්ව යන එක !

Friday, October 28, 2011

It is just a mater of perception .

 Haven is every where . Just as the Hell .

දෙව්ලොව කොටස් වශයෙන්
මනුලොව අහුමුලු වල .
පින් ඇති අයට පෙනෙත .
සුදන දන විඳිත .

අපායත් එහෙම .
මේ අපි අතරම .
පවට පින නොපෙනෙත .
පවුරු පදනම් වලින් වට කොට
කෙලි දෙලෙන් දුදන් දන
අපායක බව නොමදැන .

Haiku - Nozawa Boncho

මිටි බැඳ ගොඩ ගසා මියැදෙන අතරතුර
හෙමි හෙමින් දළු දමයි දර !
-  Nozawa Boncho


යන්තම් ඇසුණි හඬක් ,
රහසින්ම මිය ඇදී බිම වැටුණු
පඹයෙකු කෙරෙන් නැගුණු .

-  Nozawa Boncho



අර ,
වැටෙනයුරු මිහිමතට
මහ බරැති තුරුපත
නිහඬ සුලඟකුදු නොම ඇති දිනෙක
ස්ව කැමැත්තෙන්ම .

- Nozawa Boncho




Thursday, October 20, 2011

Love in Different Contexts

A Sign .
වදනින් ම නොවුණත් 
දෙනෙතගින් හෝ 
කොළ එළිය දැල්විය යුතුව ඇත .
නාඳුනන සිතද අසරණ වන්ට හැක .
නාඳුනන ප්‍රේමයක රතු එළිය 
නිවී නොතිබෙන්ට පුළුවන තවම !

An Understanding .
ප්‍රේමය කියා එකක් නැත .
අවබෝධාත්මක ගිවිසුමක් 
සම්මුතියක් මිස .
හිතේ තියාගෙන හිටියාට 
ලැබෙන්නේ නැත .
නොදන්නා අයට කියා දිය යුතු .
සාප කරන්නට කාටත් හැක .
උගන්වන්නට නොහැක !

A Forgotten Memory .
මිනිස්සු ගල් වෙන්නේ නැත .
ආවාට ගියාට .
ගල් බොහොමයකට
අමතකව ගිය කතාවක් ඇත .
ඒ කතාවේ කොනක
අමතකව ගිය ප්‍රේමයක් ඇත .

Sunday, October 16, 2011

Haiku II - Ikkyuu Soojun

කඳ පලා ,
මුල් උදුරුවා ,
චෙරි මල් සොයන්නෙනි .
ඉවසව් වසන්තය එනතෙක් .
දකින්නට හැකි එවිට
විකසිත වෙන අපූරුව
චෙරි මල් එකින් එක !

Ikkyuu Soojun (1394-1481)



වැහි දිය , කුණාටු , තුහින සහ හිම
එකිනෙකාගෙන් වෙනස්ව .
පතිතවූ ඇසිල්ලෙහි මිහි මතට
එකම දියවරව
ගලායන අපූරුව .

Ikkyuu Soojun (1394-1481)

Saturday, October 15, 2011

නික්ම යාමක් .

ඔෂීන් නම් හැම එහෙකටම අඬන
මේකටත් අඬනු ඇත .
වැඩි වෙනසක් නැත .
කිසි දා නොහඬන
රෝබින්ලා නසියර්ලාද
අද හඬනු ඇත .
වෙනෙකක් තබා අපටත්
හඬන්නට හිතෙනු ඇත .

ප. ලි .


මේ කවි වල කඳුළු ඇත .

ටයි මාමේ ඔබට නිවන් සුව .

Friday, October 14, 2011

Chaos .

ව්‍යාකූලත්ව සිද්ධාන්තය
නිර්ණිත ජීවිත කලඹන .
සතුටින් කෙළවර වන්න තිබුණි එය .
සියල්ල නිසි පරිදි නිසි තැන
හස රැළි මදහස් එමට .
ආශිර්වාද පෙර දැඩිව .

යමක් සිදුවන්ට ඇත .
එක නිමේෂයක
එක බැල්මක
වදනක
කඳුළක හෝ සිනහවක .

අවසන ,
සැලුණු වග දනිමි සමනල පියාපත
මහා මේඝයක් කැඳවමින .

Haiku - Ikkyuu Soojun

ගමන කෙලවර
නොමැති නම් අවසන් ගිම් හල ,
මග වැරදිතැයි
කුමට බිය වෙම්ද මම ?

- Ikkyuu Soojun ( 1394-1481 )

හරිම පැහැදිළියි එය .
කොහෙවත් යන්නට ,
අවැසි නැති විට ඔබට .
හැම මගම , නිසි මග වන වග .

- Ikkyuu Soojun ( 1394-1481 )

Wednesday, October 12, 2011

ඇති - නැති වග

මුහුද කියා එකක් නැත .
ලුණු ඇත .
වතුර ඇත .

ප්‍රේමය කියා එකක් නැත .
ඔබ ඇත
මා ඇත .

Thursday, October 6, 2011

ලේනා සහ දත


ඔය ලේන්නු
අලුත් දත් දෙන්නේ නැත .
පරණ දත් එකතු කොට
අලුත් යයි කියා විකුණනු මිස .

Second law of Thermodynamics .

In general the total entropy of any system will not decrease other than by increasing the entropy of some other system. Hence, in a system isolated from its environment, the entropy of that system will tend not to decrease.

බිරින්දෑවරු නැති අයගේ මේස
බිරින්දෑවරු ඇති අයගේ ඔලු
අවසන විශ්ව එන්ට්‍රොපිය
වැඩි මිසක් අඩු නොවන
තාපගතිකය නිවැරදිව පෙරටම .

ප.ලි.
මේවා ඇහුණාම
මැරුණ බෝල්ට්ස්මාන්ලා හෙම
වලවල් ඇතුළෙ පෙරලෙන .

Tuesday, October 4, 2011

Political Change .

මහ ගස් වලට
දිගු කාලයක්
එන එන සුළඟට
හෙළවිලා හෙළවිලා
එපා වී ඇත .

හ්ම් ආවද .
අවා නම් පලයං
වැඩි කරදරයක් නොකර .

පැමිණෙන සියල්ලන් යනු ඇත .
තෘණ පත් වලට
තව කල්ගත්වනවා ඇත
තෙරුම්ගන්ට මෙය .

Monday, October 3, 2011

අනුභූතිය | knowledge

අප සතුය .
නිතරම නොදුටුවද .
මතකයෙන් වියැකුණද .

රාත්‍රී ගගනත
තාරකාවන් මැද .
රැළි ගැහුණු කොළයක
ඉලක්කම් අකුරු උඩ .
ප්‍රභාතය අස දිලෙන
සුපුෂ්පිත කවියක
ඉඳහිටක නිදිබරිත ඇස් හරියි  .

පියාපත් පැළඳි මුත් අප
පියාඹන්නට නොදැන .
කියාදිය නොහැක කිසිවෙකුට .
වැර යොදා පියාපත් සලනු මිස .

‎" No man can reveal to you aught but that which
already lies half asleep in the dawning of your knowledge. "

" For the vision of one man lends not its wings to another man. "

- Kahlil Gibran ( The Prophet )

Sunday, October 2, 2011

Japanese Death Poems

ලියමි , බලමි ඔසවා හිස .
කුරුටුගා හරිමි සියල්ලම .
අවසන ඉතිරිය බලි කුරුටු පමණකි .

- Hokushi

මලානික තෘණ මල්
යාන්තමට පෙනෙන
නමක්වත් නැති හරියකට .

-Ase

ඉවතලූයෙමි  පන්හිඳ 

අද පටන් කතාව  මුහුණට මුහුණ 
හඳ හා මා අතර .

- koha

Friday, September 30, 2011

" නුඹලාගේ දරුවෝ නුඹලාගේ දරුවෝ නොවන්නාහ "


" නුඹලාගේ දරුවෝ නුඹලාගේ දරුවෝ නොවන්නාහ . ඔවුහු නුඹලා මගින් පැමිණියද ,නුඹලා වෙතින් පැමිණෙන්නෝ නොවන්නාහ .ඔවුහු නුඹලා සමග ජීවත්වන්නොය .එහෙත් ඔවුහු නුඹලාට අයත් නොවන්නාහ .නුඹලා ඔවුන් වෙත පරිත්‍යාග කල යුත්තේ ප්‍රේමය මුත් නුඹලාගේ සංකල්ප නම් නොවන්නේය .මක්නිසාදයත් ඔවුන්ට ඔවුන්ගේම පරිකල්පන ඇත්තේය . "
-Le Prophète - Khalil Gibran .

වෙනස්කල නොහැක ලොව මට .
නමුදු මා සිටුවන පැල
ඉඩහරිමි අතුපතර විහිදා වැඩෙන්නට .
මා වැඩුණු  පරිදිම .


ඉවත්කර පිළිල හැම 
යොදා දියවර 
ගොම පොහොර නිසි කොට 
වැඩෙන්නට ඉඩ දෙමි 
රිසි අත .
රිසි ලෙස .

නිමිත්ත - සමර විජේසිංහයන්ගේ " අලුත සිටවූ පැලය " කව .


Tuesday, September 27, 2011

කවි.

කවි -
පරණ මුත්
නරක් වෙන්නේ නැත .
වයින් මෙනි !

Monday, September 26, 2011

Emily Dickinson - I had no time to hate .

ඉඩ වෙන් නොවුණි වෛරයට 
මා ජීවිතය තුළ .
මිනීවල කරයි බාධා විටෙක .
කොහොමටත් නොසෑහුනි , 
ජීවිතය මට 
කෙළවර කරන්නට එදිරිවාදී කම් හැම .
 
ප්‍රේම කරන්නට 
ඉඩක් තිබුණා නොවෙයි එහෙමට .
යම් උද්‍යෝගයක් තිබෙන්නට  ඇත .
මාත්‍රවූ ප්‍රේමයේ පරිශ්‍රමය 
හිතනවා මම 
සෑහුණු බවට මාහට .

Haiku - Masaoka Shiki

ඉතිරිව මා හා තනිකම
ගිනි කෙලි හමාරව .. .. ..

අන්න කඩාවැටෙන තාරකාවක් !

- Masaoka Shiki

ගිම්හානයේ නදිය :
පාලමක් ඇතිමුත් අස
මා අසු
දිය දෙබෑ කොටගෙන එගොඩ වන .

- Masaoka Shiki

මගියෙක් ,
මොහොතකට පෙර මා පසු කල
වෙනතකට හිස හැරවූ විගස මම
දියව ගොස ඇත මිහිදුමට .

- Masaoka Shiki

මොන තරම් නොදරුවෙක් ද
යවන හැටි මහණ කමට
ගල් ගැහුණු දිළිඳු බව .

- Masaoka Shiki

Thursday, September 22, 2011

Haiku - Takahama, Kyoshi

අර , මිය ඇදුනු කපුරු මල
ඉතිරිවී ඇති හැඩයි තව
ජීවිතය එහි කොණක .

- Takahama, Kyoshi

වදනක් නැගෙයි ඔහු මුවින්
වදනක් නැගෙයි මා මුවින්
ශාරදය ,
ගෙවීයයි හෙමි හෙමින් .

- Takahama, Kyoshi

හමායන මාරුතය
අසාපන් උන්ගෙන් ,
මීළඟට ගිලිහෙන්ට නියමිත
කුමන තුරු පතද යැයි .. .. ?

- Takahama, Kyoshi



කදෝ කිමියෙකු
විසිකර දැමීමි ඈතට ,
රාත්‍රිය කොතරම් ගැඹුරු දැයි බලන්නට .

- Takahama, Kyoshi

Friday, September 16, 2011

වර්ණ.

April 12, 2011

මම කැමති 
කළු පාටට 
රාධාට ක්‍රිෂ්ණට නොව 
ඊශ්වරට අයිති !

අවැසි විට 
අන් වර්ණ පරයා නැගෙන .
නමුත් 
නෙක වර්ණ මවන්නට 
පසුතල ද සපයන ........ !

ජීවන චක්‍රය .

April 12, 2011

ඉඩ දියල්ලා සමනළුන්ට 
නිදහසේ බයිසිකල් පදින්ට 
පුළුවන් තරම් කාලයක් 

දළඹුවන් උනාම [ අපි වගේ ]
මොන බයිසිකල්ද 
කොළ කකා
වැළපෙනු මිස !

පසක්වූ නිමේෂය .

April 2, 2011

මුහුදු රළ
තාලයට වෙරළත සිඹින 
ලතාවට පැද්දෙමින් 
ගමන් යන දුම්රිය 
එහි පසෙක මම 
කල්පනා දාමයක .....
බලාපොරොත්තු 
සිහින 
එදා 
අද 

දඩස් ..........
[ කෝච්චියට මිනිහෙක් අහුවෙලා ]
මා මෙන්ම ජීවිතයක් 
එසැණින් නිමාවිය .

" රතු "

April 18, 2011

නා දළු 
කොහොමත් 
බෝ පත් වගේ 
නැත !

විටක සිනහවෙන් 
විටක කඳුලින් 
රතුවේ ......


ප. ලි. - පසුව ලියමි.

April 19, 2011

ලේන්නුන්ට 
නිදහසේ සෙල්ලම් කරන්න 
ගස් දිගේ බඩ ගාන්න 
වැලි දුවිලි නාන්න 
තිබිය යුතුමයි නිදහස .

නොඑන බැවින් 
යළි 
ඒ ළමා විය 
කිසි කලෙක ....... !

ප. ලි .

ලේන් අම්මලා තාත්තලා 
දත යුතුයි මැනවින් 
විභාග කියන්නේ 
ජිවිතයම නොවෙන වග .

අඳුර .. .. මා මිතුර .

April 19, 2011

දනිමි මම 
අඳුරේ අගය . 

එළිය අගයන 
අය වෙති 
බොහොම . 

එළියේ පැවැත්ම 
අඳුර මත .
අඳුරේ පැවැත්ම 
එළිය මත .

එබැවින් 
අඳුර අගයන්න 
සිටිය යුතුමය 
අයෙක් !!!

දන්නා තරම .

May 14, 2011


කොහි සිට පැමිණියෙම් ද 
නොදනිමි .
කොයිබට යම් ද 
නොදනිමි .


නිසැකව දනිමි 

මියැදෙන  බව නම් දිනෙක .
එනමුදු නොදනිමි 
ඒ කෙදිනදැයි කියා .......... !

සඳ හා මම

May 21, 2011


Translation of a haiku by  Koha (around 1890's )
[ From Japanese Death Poems . ]


අතහැර දැමූවෙමි පන්හිඳ 
අද පටන් කතාව මුහුණට මුහුණ 

සඳ සහ මා අතර !


පළමු පෙම් කව

June 5, 2011

ශුෂ්ක බිම් කඩක සුපිපි 
එකම කුසුම .
වසර ගණනක සාරය 
එකට කැටි වුන .  

නෙලා ගත්තීය ඈ ..

ඉතා කදිමය මෙය 
තිලිණයට ඔහුට 
සමරමින් ප්‍රේමයේ 
වසරක කඩඉම ....