අප හැමෝටම වාගේම
ඔහුටත් නික්ම යන්නට සිදුවිය .
අපි හැම දෙනම
කවදාක හෝ මැරෙන බව
මට කියා දුන්නේ ඔහුය .
දුක් වෙලා පලක් නැහැ කොල්ලෝ
සියලුම සංස්කාර අනිත්‍යයි .
මටත් එහෙමයි .
උඹටත් එහෙමයි .
ඔහු බිය නොවීය මරණයට .
නියමිත වෙලාව පැමිණිවිට
සියුම් මදහසකින් යුක්තව
මෙසේ කියන්නට ඇත ඔහු මරණයට .
ආ තමුන්නාන්සේ ආවද ?
මටත් ටික කාලෙක ඉඳල තේරුනා
යන්න වෙලාව ලඟ බව .
අන්තිම කාලේ නම්
ටිකක් අමාරු උනා තමයි .
අසූවක් වෙනතුරුත්
කුඹුරු වැඩ කරපු මට
අන්තිම අවුරුද්ද දෙක
බැරි උනා නෙව ඇවිදගන්න වත් හරියකට .
ඕවා ඔහොම තමයි උන්නැහේ
ජාති ජරා ව්‍යාධි මරණ .
වැඩ කටයුතු නම් නිමයි .
දූ දරුවනුත් දැන් හොඳින් .
මුනුපුරෝ මිනිපිරියෝ
ලෝකේ තැන තැන වල ගොහින්
මේ ළඟකදිත් ඇවිදින් ගියා
රට ඉන්න දූලා හෙම .
ඒ කාලේ වගේ නෙමෙයි
දැන් ලෝකේ හරි කුඩයි.
කරපු යහපත බොහොමයි .
නරකත් නැතුවම නෙමයි .
ජීවිතේ එහෙමයි .
ඉතින් උන්නැහේ පටන්ගමු ගමන එහෙනම් ...
No comments:
Post a Comment