Friday, June 8, 2012

අහඹු සිතිවිලි

අපි ඉතින් ස්වභාවය තුළ ඉතා වැදගත් අය නොවෙයි . ඉතින් අපි ඉන්නේ අවශේෂ කුඩා අනුකුඩා දේවල් භාරව , ඔය හේතුවක් ඇතුවත් නොවන නැතුවත් නොවන හිනාවක් වගේ දේවල් , පැහැදිලි ආරම්භයක් අවසානයක් නැති කතාන්තර වගේ දේවල් ඒ ගොඩට අයිතියි . ලැබෙන වරප්‍රසාදත් අඩුයි . වැඩත් අඩුයි . එක වැඩක් ඉවරකරාම ලැබෙන ක්‍රෙඩිට් ටික විභාගයක් ගොඩ දාන්න වගේ ලොකු වැඩකට ප්‍රමාණවත් මදි , . ඒවාට වෙනම මහන්සි වෙන්න වෙනවා . නමුත් කියන්න තරම් වැරද්දක් නෑ . සිදුවීම හා නොසිදුවීම් අතර ජීවිතය ගෙවෙනවා .

කවුළුව



වෛරය , මහ දරුණු වචනයක් එය
නැහැ එවැන්නක් මා තුළ
කවුළුව" ගැන

කාරණය මෙහෙම .
කවුළුව" හැම විට කරදරම රැගෙන එන
පෙනෙන නොපෙනෙන ක්ෂිතිජයක
දසුන් නිතරම ඉඟි කරන .

මා ද්වාරයන් ප්‍රිය කරන .
ලබාදෙන නිදහස .
රිසි අයුරු
යනු , රැඳෙනු හෝ එනු පිණිස .

නමුදු
හුදු දසුන පමණක් නොසෑහෙන
කවුළුවෙන් පෙන්වන !

මා දැන් යන්ට යමි .

මා දැන් යන්ට යමි .
අම්බලම වැඩ නිමි .
දිය බඳුන පිරී ඇති .
අවට එලි පෙහෙළි වී ඇති .

සමුගැන්මට කෙනෙක් නැති .
කැටුව නොපැමිණීමි .
රැගෙන නොයන්නෙමි .

නැවත තැනකදි නවතිමි .
යළිදු මේ කව එහි ලියන්නෙමි .

අහඹු සිතිවිලි ..


ජිවිතේ වගේම මරණයෙත් සෞන්දර්යයක් ඇති . මම කොහොමද දන්නේ කියල අහන්න එපා . නමුත් මට හිතෙනවා එහෙම විය යුතුයි කියලා . ඕනෑම දෙයක සමමිතියක් තියෙනවා . ජිවිතයේ සමමිතිය තියෙන්නේ මරණය හින්දයි . ඉතින් ජීවිතය සුන්දර නම් මරණය අසුන්දර වෙන්නේ කොහොමද . නමුත් ජිවත් වෙලා ඉන්න අපට මේක තේරෙන්නේ නැහැ . අපි ඉන්නේ එක මොහොතකට කොටුවෙලා . ඒ මොහොතෙන් මිදෙන්න අපි කැමති නැහැ . නමුත් රාමුවවට පිට ඉඳලා බලන කෙනෙකුට මේක පෙනිය යුතුමයි . මම හොයන්නේ මේ රාමුවෙන් පිට පනින විදිහක් .

මම ඉතා පැහැදිළිව ,

මම ඉතා පැහැදිළිව ,
මේ කියන්නේ කටු ගැන කතාවක් නොව 
ඉඳහිටෙක මල් පිපෙන බව 
පිපිය යුතු බව 
කටු තිබෙන එක 
වැරද්දක් නොවන බව !

අපේ කවි !

කවි දෙවගයක් ඇති .
කඳුළු කවි සහ සතුටු කවි .
අප ලියන්නේ අහඹු කවි .
කඳුලකට වැඩි ඉඩ නැති .
අතීතය මියැදිලා ඇති .
සිනහවද එහෙමකට උරුම නැති .
හෙට තවම උදාවී නැති .
විටෙක මදහසක් නැගෙනු ඇති .
අද ගෙවා ගැනුමට එය ඇති .

සැඟවීමක් ගැන

කල්යල් බලා පතිත වුණු වැසි බිඳ 
සඟවා ගත් වග
වැගිරෙන්ට නියමිත කඳුළු කැට !

අප ඉතා නොවටිනා සන්නාහ සහිත අය.

අප 
ඉතා නොවටිනා 
සන්නාහ සහිත අය.
සියුම් සැත් පහරවල් වුව 
දරාගත නොහෙන .
ඉදින් 
කඩු මුගුරු රැගෙන එන විට 
සටනට 
පලායනු හැර 
කරන්නට දෙයක් නැත වෙන !

සැලසුමක් ගැන කවක්

සෑම උපතක් සඳහාම 
සකස් වී ඇත සැලසුම් මුල සිටම .
සමහරු ඵල දරන්න ලෙසට !
සමහරු සෙවන දෙන්නන් ලෙසට !

මෙතන තමයි තැන .

මෙතන තමයි තැන .
ඔව් 
මතකය වළ දැමූ තැන !